මෝරුන් වටා ගෙතුනු The meg, Jaws, Under Paris යන අති දැවැන්ත සිනමා නිර්මාණ වලින් එකක් හෝ ඔබ මේ වන විටත් නරඹා ඇති බවට සැකයක් නැත. මේ සෑම චිත්‍රපටියකින්ම මෝරුන් ගැන අපේ හිත්වල ගොඩනඟා ඇති ආකල්පය එතරම් සුභදායක නොවේ. දැනට සමුද්‍රයේ ජීවත් වන භයානකම ජීවින්ගෙන් ප්‍රමුඛස්ථානය හිමි කර ගැනීමට මෝරුන් සමත් උනත් මෝරුන් නිසා වාර්ෂිකව සිදු වන මිනිස් ජීවිත හානි නම් ඉතා අල්ප අගයක් ගනියි.

වසරකට මෝරු හේතුවෙන් සිදුවන මිනිස් මරණ ප්‍රමාණය 10 ක් පමණ වුනත් පරීක්ෂණ වලට අනුව මිනිසුන් එක් වසරකට මිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් මෝරුන් මරා දැමීම සිදු කරයි. විද්‍යාඥයන් පවසන ආකාරයට පසුගිය වසර 50 තුළ මෝර දඩයම හේතුවෙන් 70% කට අධික මෝරුන් ප්‍රතිශතයක් සමුද්‍රීය පරිසර පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇත. එබැවින්, ජූලි 14 මෝරුන්ගේ දිනය ලෙස වෙන් කර ඇත්තේ ද මෝරුන් පිළිබඳව මිනිසා තුළ ගොඩ නැඟී ඇති වැරදි ආකල්ප හා දුර්මත තුරන් කර මෝරුන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම මූලික අරමුණ කරගෙනයි.
සාගර පරිසර පද්ධතිය තුළ ආහාර දාමයේ ඉහළම ස්ථානයේ සිටින විලෝපිකයා වන මෝරා සාගරයේ සමතුලිතතාවයට හා සෞඛ්‍යට ඉටු කරන සේවාව ඉතා අනර්ඝයි.
ලෝකයේ දැනට මෝර විශේෂ 500 ක් පමණ වාර්තා වී ඇති අතර ඒ අතරින් Great white shark, Basking shark, Hammerhead shark සහ Whale shark ප්‍රධාන තැනක් උසුලයි. මුහුදේ වෙසන විශාලම මාලුවාද මෝර විශේෂයක් යැයි ඔබ විශ්වාස කරනවද? ඔව්... දැනට මුහුදේ විශාලතම මාළුවා ලෙස සැලකෙන්නේ ද මීටර් 10 කට වඩා දිගින් හා ටොන් 40 කට වඩා බරින් යුතු ඉතා අලංකාර වර්ණ රටාවක් සහිත දේහයකින් සමන්විත මිනි මුතු මෝර (Whale shark) විශේෂයයි.

ෆොසිල කැනීම් වලට අනුව මෝරු පෘථිවියේ ජීවත් වන පැරණිම ජීවී විශේෂයක් ලෙස පරීක්ෂකයින් පෙන්වා දී ඇත. ඔවුන් ආසන්න වශයෙන් වසර මිලියන 100 කට වඩා පැරණි ඩයිනෝසර් යුගයට අයත් වේ. සාමාන්‍ය මත්ස්‍යයින්ට අස්ථිමය සැකිල්ලක් තිබුණත් මෝරුන්ගේ සැකිල්ල සම්පූර්ණයෙන්ම නිර්මාණය වී ඇත්තේ කාටිලේජ වලිනි. අස්ථි මෙන් නොව මෙම සැකිල්ල ඝනත්වයෙන් ඉතා අඩු බැවින් මෝරා විශාල ශරීරයකට උරුමකම් කීවත් උත්ප්ලවකතාව පවත්වා ගනිමින් පිහිනීමට මෙම කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ල ප්‍රයෝජනවත් වේ. ගැඹුරු මුහුදේ ජීවත් වන බැවින් මෝරුන්ට අඩු ආලෝකයට පවා සංවේදී, වර්ණ නිරීක්ෂණය වන ඉතා තියුණු ඇස් පිහිටා ඇත. එපමණක් නොව සමහර මෝර විශේෂ තම ජීවිත කාලය පුරාවට උල් දත් 35,000 කට පමණ උරුමකම් කියයි. මෙයට හේතු වන්නේ යම් යම් කාල සීමාවල දී ඔවුන්ගේ දත් ගැලවී නව දත් වර්ධනය වීමයි.
මෝරුන් මෙතරම් විශ්මය ජනක සත්ව විශේෂයක් උනත් මෑත කාලීනව මෝර ගහනයට සිදුවන හානිය නම් සුලුපටු නොවේ. වර්තමානයේ වරල් වෙනුවෙන් මෝරුන් සමූල ඝාතනය කිරීම බහුලව සිදුවේ. මෝර මස් ලෝකය පුරා එතරම් ජනප්‍රිය ආහාරයක් නොවුනත් මෝර වරල් යොදා ගෙන චීනය ආශ්‍රිත රටවල ඉතා ප්‍රනීත සූපයක් පිළියෙල කරන අතර ඒ වෙනුවෙන් මෝරුන්ගේ වරල් පමණක් කපා දමා කඳ කොටස මුහුදට අතහැර දැමීම සිදු කරයි. අනෙකුත් මාලුන්ට ආහාරයක් වෙමින් අධික වේදනාවකින් යුතුව සෙමින් මරණය ළඟා වීම කෙතරම් ඛේදජනකද?

මෝරුන් පිළිබඳව ඇති ව්‍යාජ භීතිය වෙනුවට, ඔවුන්ගෙන් ජීව විවිධත්වයට සහ සාගර සමතුලිතතාවයට ඇති වැදගත්කම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
මෝර විනාශය සමුද්‍රීය පරිසරය සම්පූර්ණයෙන් අස්ථායී කරවන අතර, වක්‍රාකාරව එහි අවසාන ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවන්නේ ද මිනිසාටමය. එබැවින්, මෝරුන් සංරක්ෂණය කිරීම අපගේ වගකීමක් වන අතර, ඔවුන් පිළිබඳව ඇති දුර්මත බිඳහෙළමින් නිවැරදිව ප්‍රජාව දැනුවත් කිරීමත් අප සතු වගකීමකි.
References:
https://www.daysoftheyear.com/days/shark-awareness-day/
https://www.fisheries.noaa.gov/feature-story/12-shark-facts-may-surprise-you
Graphic Design -
LLLF Media Team
කවීෂා සදමාලි
LLLF Media Team
සචිත්‍රා රෝසා