Back to Blog

ආක්‍රමණීක ශාකයක් පිළිබද හෙළිදරව්වක්

Editor
ආක්‍රමණීක ශාකයක් පිළිබද හෙළිදරව්වක්

පාරිසරික නීතිවේදි ආචාර්ය ජගත් ගුණවර්ධනගේ සටහනකි

Ivory Cane Palm / Ivory Palm (Pinanga cronata)

විසිතුරු ශාක ලෙස මෙරටට ගෙන එන ලද ශාක ගනනාවක්ම මේ වන විට ආක්‍රමණික ආගන්තුක ශාක බවට පත්වී තිබේ. මේ නිසාම මෙරටට ගෙන එන සියලු ශාක කෙසේ වර්ධනය වන්නේ ද සහ ප්‍රචාරනය වන්නේද යන්න කෙරේ. එම ශාක හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වදේශීය ජෛව විවිධත්වයට කිසියම් බලපෑමක් සිදුවිය හැකිද යන්නත් පිලිබදව විමසිලිමත් වීම සුදුසු වේ.

මේ කටයුතු පර්‍යේෂණ තුලින් මෙන්ම ජනතා විද්‍යාඥ නිරීක්ෂන සහ පර්‍යේශන වලින් සිදුකර ගත හැකි වේ.

විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන එන ලද මෙම ශාකය රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා වන ලැහැබ් තුලට පැතිර තිබෙන අතර මේ නිසා එය ආක්‍රමනිකයකු වීමේ අවදානමක් තිබෙන බවත් මවිසින් දැක තිබුනේ ටික කලක සිටය​.

ඉන් දුනීසියාවට අයත් ජාවා සහ් සුමත්‍රා දිවයින් නිජබිම් කරගත් මෙම තාල වර්ගයේ ශාකය මීටර් 10 තෙක් උසකට වැඩෙනා සිහින් කහවන් කඳකිනුත්,එහි කෙලවර තිබෙන පත්‍ර ගනනාවකිනුත් සමන්විත වේ.මෙම පත්‍රිකා පළලින් වැඩි මෙන්ම එකිනෙකට ස්පර්ශ වන ආකාරයට ආසන්නව තිබීමත් විශේශත්වයකි.මේ නිසා පත්‍රිකා අතුරින් හිරු එලිය පහතට ඒම සිදු වන්නේ ඉතා සුළු වශයෙනි.මෙහි පුෂ්ප හට ගන්නේ පුෂ්ප මංජරි විලසිනි. මුල් කාලයේදී ලා කොල පාට පුශ්ප මංජරිය ක්‍රමයෙන් දීප්තිමත් තද රතු පාටකට පත්වේ .මෙහි හටගන්නා කුඩා ඵල මුලදී කොල පාට මුත්,ඉදීමේදී දම්-කලු පාටක් ගනී.ඒවා සතුන් මගින් ප්‍රචාරනය වේ.

මෙම ශාකය වගා කිරීමේ උපදෙස් වල තිබෙන්නේ එය සෙවන සහ තෙතමනය ප්‍රිය කරන බවයි. මේ ශාකය බොහෝවිට හමු වන්නේ ගස් සහිත පරිසරවල සෙවන සහිත ස්ථානවලය​. මේ නිසා එය වනාන්තර තුල ඉතා හොඳින් වර්ධනය වීමේ හැකියාව දරයි. මෙහි තිබෙන වර්ධක ලක්ශනයක් වන්නේ මුලෙන් පඳුරු දැමීමයි. ඒ නිසා එක් ශාකයක් කලකදී ශාක ගොනුවක් බවට පත් වේ.මේ ශාක යට කොටසට එන ආලෝකය ඉතා අඩු නිසා එම ගස් යට ශාක වලට වර්ධනය වීමට සුදුසු තත්වයක් නොමැත​.

එසේම මෙහි ඵල සතුන් මගින් ප්‍රචාරනය වේ.මේ නිසා එයට පහසුවෙන් ව්‍යාප්ත විය හැක​.එමෙන්ම ගසකින් වැටන ඵල ප්‍රරෝහනය වීම තුලින් එක ගසක් අසල ගස් රාශයක් හට ගන්නා බවත් පෙනෙන්නකි.මේ නිසා අනෙක් ශාක වලට වර්ධනය විය නොහැකිවන ප්‍රදේශය විශාල ලෙසින් වැඩිවනු ඇත​.මෙම ක්‍රියාව එම ශාක කුඩා අවධියේ පටන් සිදුවන බව කුඩා ශාක වලද පලල් පත්‍රිකා තිබීමෙන් පෙන්නුම් කෙරේ.

ඉහත ලක්ෂණ නිසා මෙම විසිතුරු ශාකය මෙරට වනාන්තර තුල​,විශේශයෙන් තෙත් කලාපයේ සහ කඳුකරයේ,ආක්‍රමනිකයෙකු වීමේ විශාල ඉඩකඩක් පවතී. මේ වන විට මෙම ශාකය සිංහරාජ වනාන්තරයේ පිටදෙනිය ප්‍රදේශයේ සුලු වශයෙන් තිබෙනු පසුගිය දින දැකගත හැකිවිය​.ඒ පිළිබදව වන සංරක්ශන දෙපාත්‍රමේන්තුවේ බලධාරීන් දැනුවත් කල අතර ඔවුන් මේ පිලිඹඳව කඩිනමින් කටයුතු කරන බව නිසැකය​.

මෙම ශාකය අන්දමන් දූපත් වල සහ ෆීජි දිවයිනේත් ව්‍යාප්තවී තිබේ.මේ වන විට එය ෆීජි දිවයිනේ ආක්‍රමනික ආගන්තුක ශාකයක් බවට පත්වී තිබෙන බවට පර්‍යේෂණ පත්‍රිකා පල වී තිබේ. මෙම ශාකය කෙරේ විශේෂ අවධානයක් යොමු කිරීමට තවත් හේතුවක් වන්නේ මෙය දැනටමත් ආක්‍රමණීකයෙක් වී තිබෙන බවට තිබෙන මේ තොරතුරු වේ.

මෙම සටහනේ අරමුණ වන්නේ මෙම ශාකයේ ඔබ ප්‍රදේශ වලත් ගෙවතු වලින් බැහැරව තිබෙන්නේ ද යන්න සහ වන ලැහැබ් සහ වනාන්තර පරිසර තුලත් හමුවන අවස්ථාවන් දැක තිබේ නම් ඒ පිලිඹඳව මවෙත දැනුම් දෙන ලෙසත්,මේ ශාකය කෙරේ අවධානය යුමු කරන ලෙසත් ඉලා සිටීමට වේ.

** මේ ඡායාරූපයෙන් මෙම ශාක ගොමුවක් ලෙස වර්ධනය වී තිබෙන අයුරුත්,ඒවා යට තිබෙන අඳුරු ස්වභාවයත්,එම ශාක ගොනුව වටා වර්ධනය වෙමින් පවතින කුඩා ශාකත් පෙන්නුම් කෙරේ.