Back to Blog

ආසියාවම රත් වෙයි: ආසියාව ගැන හෙලිකරපු භයානක දේ මෙන්න

Editor
ආසියාවම රත් වෙයි: ආසියාව ගැන හෙලිකරපු භයානක දේ මෙන්න

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organization-WMO) විසින් නිකුත් කරන ලද ‘ආසියාවේ කාලගුණය-2024 නවතම වාර්තාවට අනුව 2024 වසර, ආසියානු කාලගුණ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වුණු වඩාත්ම උණුසුම් වසර බව අනාවරණය කර තිබේ. ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව විදිහට එම වාර්තාව පෙන්වා දෙන්නේ ඉන්දීය සහ පැසිපික් සාගර කලාප ආශ්‍රිත වර්ධනය වී තිබෙන උණුසුම් පාරිසරික තත්වයයි.

1850-2024 අතර වර්ෂ කාලය පුරාවට ලැබී ඇති දත්ත විශ්ලේෂණය කරමින් WMO සංවිධානය ගෝලීය කාලගුණ තත්වය පිළිබඳව පවසා සිටින්නේ 2024 වර්ෂය එම සියලුම වර්ෂ අතරින් වඩාත් උණුසුම් වර්ෂය වන බවයි. එය අප වෙසෙන ආසියාතික කලාපයට එතරම් සුබදායික පණිවිඩයක් ගෙන නොදෙන බවයි WMO සංවිධානයේ ලේකම් සාවුලෝ මෙනවිය පෙන්වා දෙන්නේ.

“ මුහුදු මතුපිට උණුසුම ඉහල යාම, ග්ලැසියර් කඩා වැටීම් සහ මුහුදු මට්ටම ඉහල යාම වැනි ගැටලු කිහිපයක් ගැන අපි අපේ වාර්තාව තුළින් ඉස්මතු කර තිබෙනවා. එම තත්වයන් රටවල පරිසරයට වගේම සමාජ සහ ආර්ථික කටයුතු වලට එල්ල කරන පීඩා අතිමහත්. මේ නිසා ජන ජීවිතය ආරක්ෂා කිරීම උදෙසා ජාතික මට්ටමින් විවිධ රාජ්‍යන් තුළ ක්‍රියාත්මක වන ජාතික කාලගුණ ආයතන සමග වඩවඩාත් සමීපව පුළුල් මට්ටමින් කටයුතු කරන්නට අපිට ඉදිරි කාල වලදී සිද්ධ වෙනවා.”

1993 වසරෙන් පසුව ආසියාතික කලාපය දරුණු අන්දමේ උණුසුම් තත්වයකට මුහුණ දී ඇත්තේ 2024 වසරේදීය. 2024 වසරේ අප මේ කතා කරන උණුසුම වඩාත්ම බලපා ඇති ආසියාතික කලාප වන්නේ උතුරු ඉන්දියානු සාගර කලාපය, ජපානය ආශ්‍රිත මුහුදු කලාපය, කහ මුහුද, සහ නැගෙනහිර චීන මුහුදයි. ඊට අමතරව ආසියාතික කලාපය තුළ වෙනත් රාජ්‍යයන් ද දරුණු අන්දමින් පීඩාවන් වලට මුහුණ පා සිටියි.

උදාහරණ වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය කාල වකවානුව තුළ මි. මි 259.5 අනපේක්ෂිත අන්දමේ දැඩි වර්ෂාපතනයකට මුහුණ දුන් අතර එය 1949 වර්ෂයට පසුව එරට මුහුණ දුන් දරුණුතම ව්‍යසනය ලෙස ඉතිහාසගත වෙයි. ජූලි 30වන දින ඉන්දියාවේ උතුරු කේරල ප්‍රාන්තයේ වයානාඩ් දිස්ත්‍රික්කයට දෙදිනක් පුරා පතනය වූ මි. මි. 500ක මහා වර්ෂාපතනය හේතුවෙන් 350කට අධික ජීවිත හානී සිදුවීම් වාර්තා විය. ආසියාව මුහුණ දුන් මේ දරුණු උණුසුම් තත්වයෙන් බැට කෑ අනෙක් රාජ්‍යය වන්නේ නේපාලයයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී එරටට ඇද හැලුණු අධික වර්ෂාපතනය 246කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලි ගත් අතර එය නේපාල මුදලින් රුපියල් බිලියන 12.85ක ආර්ථික හානීයක් ද එරටට සිදු කළේය.

එමෙන්ම මේ තත්වය නිසා තවත් දරුණු අන්දමින් පීඩාවට ලක්‌ වී ඇති තවත් රටක් විදිහට WMO වාර්තාව විසින් ශ්‍රී ලංකාව හඳුනා ගෙන තිබේ. 2024 වසරේ දෙසැම්බර් තුන් වන දින ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ අධික වර්ෂාපතනය, සුළි කුණාටු සහ අකුණු ගැසීම් හේතුවෙන් පන්දහසකට අධික පිරිසක් අවතැන් වූ බවත් ජීවිත හානී 18ක් සිදු වූ බවත් 450,000ක පිරිසක් පීඩනයට ලක්‌ වූ බවත්ය.

බෙංගාල බොක්ක ආශ්‍රිත රාජ්‍යයන් එසේ පීඩනයට ලක්‌ වෙද්දී මැද පෙරදිග කලාපයත් මේ නව පාරිසරික තත්වයන් නිසා පීඩනයට ලක්‌ වී තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී අරාබි මුහුදේ හට ගත් සයික්ලෝනික සුළි සුළං තත්වය ඉතා දුර්ලබ දෙයක් බව එම වාර්තාව පවසයි. ආසියාතික උණුසුම් සහගත පරිසර තත්වය 2024 වසරේදී අරාබි මුහුද තුළ සුළි කුණාටු තත්වයක් ඇති කිරීමට හේතුවක් බවට පත් ව තිබේ.

ආසියාවේ උණුසුම් පරිසර තත්වය විවිධ රටවලට අනපේක්ෂිත සුළි කුණාටු, වැසි තත්වයන් පමණක් නොව එම රටවලට උෂ්ණාධික පරිසර තත්වයන් උදා කිරීමටත් හේතු වී තිබෙන බව එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි. එම උෂ්ණාධික තත්වයන් වලට මුහුණ දී ඇති රටවල් අතරට චීනය, ජපානය, තායිලන්තය සහ මියන්මාරය යන රටවල් ඇතුළත්ය.

විශේෂයෙන්ම උෂ්ණාධික තත්වය හේතුවෙන් චීනයට ඇති වුණු දරුණු නියං තත්වය ඇති වූ අතර මිලියන 4.8ක ජනකායක් පීඩනයට පත් ව හෙක්ටයාර් 335,200ක වගා හානී සිදු කරමින් එරට ආර්ථිකයට යුවාන් බිලියන 2.89ක පාඩුවක් සිද්ධ කර තිබේ.

මුලාශ්‍රය-

https://www.thehindu.com/sci-tech/energy-and-environment/asia-is-warming-at-twice-the-global-average-wmo-report/article69727259.ece/amp/

ද හින්දු පුවත් පත ඇසුරිනි.

LLLF Media Team

අසංක ජයවීර