ලෝකයේ සාගරවල සෞඛ්‍යය තත්වය පිළිබඳව සිදුකළ නවතම පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සාගරය තුළ ලෙඩ රෝග පැතිරයාම පෙර අත්නොවිඳි වේගයකින් සිදු වෙමින් ඇති බවත් එමඟින් ගෝලීය ආහාර දාමය දැඩි අවදානමකට ලක්ව ඇති බවත්ය.

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලය තුළ එකතුවන උෂ්ණත්වයෙන් 93% ක් හා කාබන්ඩයොක්සයිඩ් 23% ක් සාගරය මඟින් අවශෝෂණය කරමින් 1970 දශකයේ සිට මේ වනතෙක් පෘථිවිය උණුසුම් වීමෙන් සිදුවන විනාශකාරී බලපෑම් වලින් අපව ආරක්ෂා කර ගැනීම සුලුපටු කාර්යභාරයක් නොවේ.
සාගර නොතිබුණහොත්, ගොඩබිමින් පිටවන මෙම ඉහළ උෂ්ණත්වයක් සහිත තාපය වායුගෝලය තුල එකතු වී පෘථිවිය ඉතා වේගයෙන් උණුසුම් කිරීම සිදු කරයි. එබැවින්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, මානව ක්‍රියාකාරකම් හේතුකොටගෙන වේගයෙන් වැඩිවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැනි දේශගුණයේ සිදු වන වඩාත් වේගවත් වෙනස්කම් වලින් පෘථිවිය ආරක්ෂා කිරීම මෑත කාලීනව සාගර තුළින් සිදු කරන කාර්යභාරයන්ගෙන් ප්‍රමුඛතම ස්තානයක් අත්පත් කර ගනියි.
සාගරයේ උෂ්ණත්වය වැඩි විමත් සමඟ හානිකර සමුද්‍ර ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතිශතය භයානක ලෙස ඉහළ යාමත්, එමඟින් සාගරයේ පවතින පරිසර පද්ධති වල සමතුලිතතාවයට බාධා ඇතිවීමත්, සමුද්‍ර දූෂණය සැලකියයුතු මට්ටමකින් ඉහළ යාමත් වැනි අහිතකර තත්වයන්ට මුහුණ දීමට සිදු වී ඇත. පෘථිවිය තුළ ජීවත් වන ඕනෑම ජීවියෙක් නිශ්චිත උෂ්ණත්ව පරාසයක ජීවත් වීමට හැඩ ගැසී ඇති අතර මෙම පරාසයෙන් පිටතදී ජීවත් වීමට සැලකිය යුතු අරගලයක නිරත වීමට අපට මෙන්ම අනිකුත් ජීවී ප්‍රජාවටද සිදු වේ. පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස රෝග ඇතිකරන ව්‍යාධිජනකයින් සාමාන්‍ය පරිසරයේ දී ඔවුන් ක්‍රියාශීලී වන උෂ්ණතව පරාසයන්ට වඩා අඩු අගයක ජීවත් වේ. නමුත් කාලීන දේශගුණික විපර්යාස නිසා සිදුවන උෂ්ණත්ව ඉහළ යෑම හේතුවෙන් මෙම ව්‍යාධිජනකයින්ට ක්‍රියාශීලී වීමටත්, ප්‍රජනනය සිදු කිරීමටත් අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්ව පරාසයන් පහසුවෙන් ලඟාකර දීම සිදු කරයි. මෙහි අවසාන ප්‍රතිඵල ලෙස සාගර පරිසර පද්ධතීන් තුළ නව රෝග ව්‍යාපත වීම පමණක් නොව ව්‍යාධිජනකයින් ආහාර දාමයේ ඔස්සේ පැමිණ එහි අවසාන පුරුක වන මිනිස් ශරීර තුළට ඇතුළු වී භයානක ලෙඩ රෝග ව්‍යාප්ත කිරීම සිදු කරයි.
මේ සඳහා හොඳම නිදසුනක් වනුයේ සෙල්සියස් අංශක 17 ට වැඩි උෂ්ණත්වයේදී Vibrio harveyi නැමැති බැක්ටීරියාව ක්‍රශ්ටේශියන් විශේෂ හා සමුද්‍රීය ක්ශීරපායි විශේෂ ආසාදනය කිරීම සිදුකරන නමුත් ඊට පහළ උෂ්ණත්ව පරාස තුළදී එම ව්‍යාධිජනක බැක්ටීරියාව නිශ්ක්‍රීය තත්වයේ පැවතීමයි. මීට අමතරව, සමහර ඇල්ගේ විශේෂ ඔවුන්ගේ පරිවෘත්තිය ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙස විවිධ වූ විෂ සංයෝග නිශ්පාදනය කරනු ලබයි. මෙම සංයෝග සමුද්‍ර ජීවීන් හරහා ආහාර දාමය ඔස්සේ මිනිස් සිරුරට ඇතුළු වී භයානක සෞඛ්‍යමය ගැටලු තත්ව ඇති කිරීමට පිටුවහල් වේ.

සාගර උෂ්ණත්වය ඉහළයාම හා සාගර ආම්ලීකරණය සාගර තුළ වැසි වනාන්තර ලෙස ක්‍රියා කරමින් සමුද්‍රීය පරිසරයට පමණක් සීමා නොවී මුළු මහත් මිනිස් ප්‍රජාවගේ ජීවනෝපායට විශාල සේවාවක් සපයන කොරල් පර වලටත්, ඒ වගේම පෘථිවිය තුළ ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලිය මඟින් වැඩිම ඔක්සිජන් ප්‍රතිශතයක් නිශ්පාදනය කිරීමට දායක වන ප්ලවාංග විශේෂ වගේම භාහිර සැකිල්ල කැල්සියම් කාබනේට් වලින් සමන්විත මොලුස්කා විශේෂ වලට සිදුකරන හානිකර බලපෑමත් අතිමහත්ය. එපමණක් නොව දේශගුණික විපර්යාස, සැලකිය යුතු සමුද්‍රීය ජීවීන් ප්‍රමාණයකගේ වාසස්ථාන සම්පූර්ණයෙන්ම අහිමි කර දමමින් මත්ස්‍ය විශේෂ 25% ක් පමණ වඳ වී යෑමේ තර්ජනයට ඇද දමා ඇත.
සාගරයේ උෂ්ණත්වය තවදුරටත් අඛණ්ඩව ඉහළ ගියහොත් ආක්ටික් පරිසරයට විශාල බලපෑමක් ඇති වනු ඇතැයි පරීක්ෂණ වලින් පවසයි. එමෙන්ම අයිස්වලින් වැසී ගිය ප්‍රදේශ අතුරුදහන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර විවෘත ජලය හැර වෙන කිසිවක් ඉතිරි නොවේ යැයි සඳහන් වේ. මෙම තත්වය තුළ හිම වලසුන් දැන් සිට අවුරුදු 50 ත් 70 ත් අතර කාල සීමාව තුළ සම්පූර්ණයෙන්ම වඳ වී යාමටද ඉඩ ඇත.
සීමාවක් නොමැතිව සිදුවන මානව ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාස කෙරෙහි ඇති කරන බලපෑම කිසිසේත් සුලුපටු ලෙස තැකිය නොහැක. එබැවින් තව දුරටත් මේ අවදානම පිලිබඳ මනා අවධානයෙන් කටයුතු කරමින් තිරසාර කළමනාකරණය ප්‍රවර්ධන කරමින් නූතන පරම්පරාව ස්වාභාවික සම්පත් භුක්ති විඳින අතරතුර අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම හැර වෙන විකල්පයක් ඉතුරුවී නොමැත.
සාගර උෂ්ණත්වය ඉහළයාම සහ සාගර ආම්ලිකතාව හේතුවෙන් සිදුවන කොරල් විරංජනය
@ Veronique Mocellin/AIMS
References
Gaill, F. (2025). Ocean in danger: Climate challenges and sustainable solutions. https://journals.openedition.org/factsreports/7757
Byers, J. E. (2020). Marine parasites and disease in the era of global climate change. Annual Review of Marine Science, 13(1), 397–420. https://doi.org/10.1146/annurev-marine-031920-100429
LLLF Media Team
සචිත්‍රා ලක්ෂාණී