උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ෂේශාදි මෙනෙවිය, දුෂාන්ත කණ්ඩම්බි, තිළිණ සුරසිංහ, සුරංජන් කරුණාරත්න ඇතුළු පර්යේෂක කණ්ඩායම වෙත.
ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා මානව නඩත්තු කළ ගෙවතු අතිශය වැදගත් කාර්යයක් ඉටු කරන බව විද්‍යාත්මක අධ්‍යනයකදී හෙළිව ඇත.
දුෂාන්ත කණ්ඩම්බි, තිළිණ සුරසිංහ, සුරංජන් කරුණාරත්න ඇතුළු පර්යේෂක කණ්ඩායම සම කතුවරුන් ලෙස ප්‍රකාශයට පත් කළ විද්‍යාත්මක පත්‍රිකාවක් මඟින් මේ බව හෙළි කෙරේ. මෙය එම කණ්ඩායම විසින් වසර 15ක් පුරා නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ ගෙවත්තක සිදු කරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයකි.
මේ වන විටත් ලෝකයේ ජෛව විවිධත්ව අර්බුධයකට පත්ව ඇත. වනගත පරිසර පද්ධති හායනය වෙමින් පවතී. එමෙන්ම කෘෂිකාර්මික ජාන විවිධත්ව හේතුවෙන් ද පරිසර පද්ධති නිහඬ ඛාදනය වෙමින් පවතී. ගෙවතු වගා කෙරෙහි මේ වන විට එතරම් අවධානයක් යොමු නොවුණද නව අධ්‍යනය මඟින් හෙළිව ඇත්තේ මෙරට ගෙවතු උද්‍යාන තුල පවතින ජෛව විවිධත්වය, සමස්ත ජෛව විවිධත්ව සංරක්ෂණයේ ස්ථිර බල කණුවක් ලෙස ක්‍රියාත්මක වන බවය. ග්‍රාමීය සහ නාගරික නිවර්තන කලාපවල පැතිර ඇති ගෙවතුවල ජෛව සංකීර්ණ සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද භූ දර්ශ මඟින් මෙරට ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම මෙන්ම ආහාර නිෂ්පාදනයද සමතුලිත කරන බවද හෙළිව ඇත.
ගෙවතු සහජීවනය සංකේතවත් කරයි. සියයට 15% ක් පමණ වූ මෙරට ජාතික ගෙවතු ආවරණය කුඩා කොටස් සමූහයකින් යුතු සජීවී භූමි දර්ශනයක් සාදයි. ඒවායෙහි වසර 2,000ක් ගණනක් මුළුල්ලේ දේශීය ඖෂධීය ශාක, පාරම්පරික වගාවන් සහ ගෘහාශ්‍රිතකරණය වූ සත්ත්ව විශේෂ වැඩි දියුණු වී ඇත.

මේ අධ්‍යනය සඳහා පාදක වූ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි රඹුක්පිටිය ගම්මානය, නාවලපිටිය සහ ගිනිගත්හේන නගර අතර පිහිටා තිබේ. නිවර්තන-තෙත් කළාපීය වෘක්ෂලතා, අවශේෂ ස්වදේශික තෙත් සදාහරිත වනාන්තර, වාණිජ තේ වතු, විදේශීය පයින් වගා සමඟ සම්බන්ධ වූ ද්විතියික වනාන්තර පද්ධතියකින් මේ පරිසර කලාපය සමන්විත වේ. නිරන්තරයෙන් ගලා බසිනා බහු වාර්ෂික ජල ප්‍රවාහයන් සහ ස්වභාවික ජල උල්පත් මඟින් මගින් පෝෂණය වන මෙම තෙත් කලාපයේ ගෘහාශ්‍රිත මිශ්‍ර බෝග වගාව, තේ වගාව, කුළුබඩු, විවිධ පලතුරු සහ එළවළු වැනි බෝග වගාවන්ද සිදු කෙරේ.
අධ්‍යනය සඳහා පාදක වූ යාබද වාසස්ථානයක් සහිත පර්චස් 36කින් සමන්විත ඉඩමෙහි 2008 වසර වන විට සිදු කළ ජෛව විවිධත්ව තක්සේරු කිරීම්වලදී ගෘහ උද්‍යානයේ සහ ඒ අවට ආශ්‍රිත පරිසරයේ පොහොසත් සත්ත්ව විවිධත්වයක් පවතින බව අනාවරණය වී තිබේ. විය. කොස්, දූරියන්, අලිගැටපේර, මහෝගනී සහ සපු වැනි විශේෂ ඇතුළුව මධ්‍යම හා විශාල දේශීය හා ස්වාභාවික දැවමය ගස්වල විවිධ එකතුවක් පැවතී ඇත. කුඩා පැල ගලවා ඉවත් කළ විට නිරාවරණය වී ඇති භූමියේ පැතිර තිබූ කෙසෙල් වගාවද ක්‍රමයෙන් ඉවත් කොට ඇත. ඉකුත් 2015 වන විට, භූමියට පතිත වූ අධික හිරු එළිය මධ්‍යස්ථ කිරීමට, අධික වර්ෂාපතනයට භූමිය නිරාවරණය වීම වැලැක්වීමට හා අවශේෂ වනාන්තර ආවරණය ආරක්ෂා කිරීමට දේශීය ශාක විශේෂ සිටුවීම අරඹා තිබේ.
මුල් කාලීනව භූමිය මත තිබූ කොළ රොඩු ඉවත් කිරීම සිදු කළද භූමියේ වාසය කරන සත්ත්ව විශේෂ සඳහා දිරායන කොල රොඩු පස මත පැවතීමේ ඇති පාරිසරික වැදගත්කම හඳුනාගෙන, ස්වභාවිකව ඒවා එකතු වීමට ඉඩ සලසා ඇත. ඉන් පාංශු තෙතමනය රඳවා තබා ගැනීමට පිටිවහලක් වී ඇති අතර කුඩා උභයජීවීන්, උරගයින් සහ විවිධ භෞමික අපෘෂ්ඨවංශීන් සඳහා වාසස්ථාන සහ පෝෂණ සැලසී ඇති බව හඳුනාගෙන තිබිණි.
එම ගෙවතු පරිසර පද්ධතියේ සිටින සලබයන්, කුරුමිණියන්, මකුළුවන්, ගෝනුස්සන්, පත්තෑයන් සහ මිරිදිය කකුළුවන් ඇතුළු ඇතැම් අපෘෂ්ඨවංශික සත්ත්ව විශේෂ පිළිබඳව මේ වනතුරු අධ්‍යන කණ්ඩායම සම්පූර්ණ සංගණනයක් සිදු කර නැතත් එම ජීවී විශේෂවල වර්ධනය වීමක් නිරීක්ෂණය කර ඇත.

ගත වූ වසර 15ක අධ්‍යයන කාලය තුළ ගෙවත්ත තුළ සත්ව විශේෂ විවිධත්වයේ කැපී පෙනෙන වර්ධනයක් නිරීක්ෂණය කොට තිබේ. කළෙමු. ඉකුත් 2010 දී සිදු කළ මූලික සමීක්ෂණ තුලින් සාපේක්ෂව අඩු සත්ව විශේෂ විවිධත්වයක් වාර්තා වුවත් 2024 වසර වන විට, ආවේණික සහ තර්ජනයට ලක් වූ ජීවී විශේෂවල පැවැත්ම ඇතුළුව ජෛව විවිධත්වය සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව නිරීක්ෂණ දත්ත අනුව සනාථ වී ඇත. උභයජීවීන් සහ උරගයින්ගේ විවිධත්වයේ වඩාත්ම කැපී පෙනෙන දියුණුවක් ප්‍රදර්ශනය වූ අතර මිරිදිය මත්ස්‍යයන්, පක්ෂීන් සහ ක්ෂීරපායීන්ගේ නාමාවලියට කාලයත් සමඟ සාපේක්ෂව ස්ථායී විශේෂ ගණනාවක්ම එකතුවී ඇති බව නිරීක්ෂණය වී තිබිණි.
මෙහි වර්තමාන සත්ත්ව විශේෂ නාමාවලියට ආවේණික විශේෂ 95 ක් ඇතුළත් වන අතර, එම විශේෂ බොහොමයක් ඛණ්ඩනය වූ තෙත් කලාපීය වාසස්ථානවලට සීමා වූ විශේෂ වේ. මින් විශේෂ 7ක් බරපතල ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ජාතික රතු දත්ත ලැයිස්තුවෙහි "දැඩි අන්තරායක" තත්ත්වය යටතේ ලැයිස්තුගත කර ඇති විශේෂය. තවත් විශේෂ 26ක් අන්තරායක තත්ත්වය යටතේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති අතර විශේෂ 39ක් අවදානම් තත්ත්වය යටතේ ජාතික රතු ලැයිස්තුවට අනුව වර්ගීකරණය කර ඇති සත්ව විශේෂ වේ. අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂයන් අතරින්, සමනල සහ බත්කූරන්ගේ විවිධත්වය වසර 14ක් පුරා දෙගුණයකින් වැඩි වී ඇති අතර ගොඩ ගොළුබෙල්ලන්ගේ විශේෂ විවිධත්වය සාපේක්ෂව නොවෙනස්ව පවතින බව හඳුනා ගෙන ඇත.
එම ගෙවත්තෙහි මේ සත්ව විශේෂවල පැවැත්ම වසර පුරා එකසේ නියත නොවීය. ඇතැම් විශේෂ නිරීක්ෂණය වී ඇත්තේ වසරේ නිශ්චිත කාල පරිච්ඡේද වල පමණකි. බොහෝ විට දේශගුණික තත්ත්ව, සෘතුමය හැසිරීම්වල වෙනස්කම් සහ සතුන්ට වාසස්ථාන ලබා ගැනීමේ හැකියාව මත සත්ව ගහනවල ප්‍රමාණය හා විශේෂය වෙනස් වී ඇත. වසර පුරාම මේ බිමෙහි රැඳී සිටින සත්ව විශේෂ මෙන්ම මසකට වරක් පැමිණෙන ඇතැම් විලෝපික ක්ෂීරපායින්ද නිරීක්ෂණය කොට තිබේ.
වසර 15 කට වැඩි කාලයක් පුරා සිදුකල මෙම අධ්‍යයනය මඟින් හෙළිව ඇත්තේ මෙරට ගෘහ උද්‍යානවලට විශේෂයෙන්ම තර්ජනයට ලක් වූ සහ ආවේණික විශේෂවල පැවැත්ම සඳහා ගතික ජෛව විවිධත්ව ආරක්ෂණ ස්ථාන බවට විකාශනය විය හැකි බවය. පළිබෝධනාශක යෙදීම්වලින් තොර ගෘහ උද්‍යානවල, ස්වාභාවික වනාන්තරවල පවතින ක්ෂුද්‍ර වාසස්ථාන සැකසෙන බවත්, අභිජනන, වාසස්ථාන හා ගොදුරු බිම් බහුල බවත් අනාවරණය වී ඇත.
මෙම අධ්‍යයනයේදී ආවේණික විශේෂ 95 ක, වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ 74 ක සහ දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ 7ක පැවැත්ම ඇතුළුව ජීවී විශේෂ ගණනාවක එකතුව සහ වැඩිවීම තහවුරු කර තිබීම හේතුවෙන්, ගෘහ උද්‍යාන යනු “මෘදු” සංරක්ෂණ මෙවලම් ලෙස වටහා ගැනීමට මිනිසාගේ ඇති අකමැත්තට අභියෝග කරයි. දේශගුණික විපර්යාස මගින් අසමානුපාතිකව අවදානමට ලක්වන කණ්ඩායමක් වන තෙත් කලාපීය ආවේණික ජීවීන් රඳවා තබා ගැනීමට ගෘහ උද්‍යානවල හැකියාව පවතී. එමෙන්ම දේශගුණයට ඔරොත්තුදෙන ක්ෂුද්‍ර ආරක්‍ෂිත නිවහන් ලෙසද ගෘහ උද්‍යාන කටයුතු කරයි.
ජීවී විශේෂ සංරක්ෂණයෙන් ඔබ්බට, ජෛව විවිධත්වය සහිත ගෙවතු බහුවිධ පරිසර පද්ධති සේවා සපයයි. ඒවායේ බහු ස්ථර වෘක්ෂලතාදිය කාබන් වෙන් කරයි, පස ස්ථාවර කරයි, ක්ෂුද්‍ර දේශගුණය නියාමනය කරයි. එය ශ්‍රී ලංකාවේ වැඩි වැඩියෙන් විචලනය වන තෙත් කලාපීය දේශගුණික අනුවර්තනය සඳහා ඉතා වැදගත් වේ. ගෘහ උද්‍යාන මඟින් මිනිසාගේ මානසික සෞඛ්‍යය කෙරෙහි හිතකරව දක්වන කාර්යභාරය ඉමහත්ය. මානසික ආතතිය අඩු කිරීම සහ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම සඳහා ගෘහ උද්‍යාන උපකාරී වන බව අධ්‍යනවලදී හෙළිව ඇත. පරාගණ කාරකයින්ගේ ජාල සහ පළිබෝධ නියාමනය පවත්වා ගැනීමෙන්, ජෛව විවිධත්වයෙන් අනූන ගෘහ උද්‍යාන, වනාන්තර විනාශයෙන් හේතුවෙන් අහිමි වූ වනාන්තර ක්‍රියාකාරකම් ප්‍රතිනිර්මාණය කරයි. ඒවා මඟින් මිනිස් යහපැවැත්මට සෘජුවම ප්‍රතිලාභ ලබා දෙයි.