Back to Blog

අපද්‍රව්‍ය වර්ගීකරණය හා බැඳුණු යහපත් පුරුදු

Editor
අපද්‍රව්‍ය වර්ගීකරණය හා බැඳුණු යහපත් පුරුදු

ප්‍රායෝගික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රවේශය ලිපි අංක 1

අපද්‍රව්‍ය කළමනාකරණය කියන්නේ මිනිසාගේ සෞඛ්‍යයට, පාරිසරික ගුණාත්මකභාවයට හා මිනිසාගේ අනාගත පැවැත්මට සෘජුවම බලපෑම් කල හැකි ප්‍රායෝගික විෂයයක්. මේ වනවිට සමාජයේ බොහෝ කැලඹීමට හේතු වී ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් (Micro plastic) ඒ සඳහා හොඳම උදාහරණයක්. ඒ සම්බන්ධව කරන ලද විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කරල තියෙනවා මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් මව් කිරි වල පවා අන්තර්ගත වීමට හැකියාව ඇතිබව. ඉතින් ප්ලාස්ටික් වලට අමතරව මිනිසා විසින් බැහැර කරන රසායනික අපද්‍රව්‍ය මිනිසාගේ ඉදිරි පැවැත්මට විශාල තර්ජනයක් බව විද්‍යාත්මකව සාධක සොයාගෙන අවසන්. 2019දී පැමිණි IMDB අගය 7.6ක් වන සත්‍ය කථාවක් පදනම් කරගෙන නිර්මාණය වූ Dark Waters සලරුව හැකිනම් සොයාගෙන නරඹන්න. ඔබට වැටහේවි සත්‍යය කෙතරම් බියකරු හා අපි කෙතරම් අනාරක්ෂිත ද යන බව.

අපද්‍රව්‍ය යනු මොනවාද? -

එහි අන්තර්ගත වන්නේ ඇමරිකාවේ එක් ගම්බද ප්‍රදේශයක වැසියන් රසායනික අපද්‍රව්‍ය නිසා විඳින්නට වන පීඩාව හා ඒ පාර්ශ්වය වෙනුවෙන් නීතිය ඉටුකරලීමට දුෂ්කර ක්‍රියා කරන්නා වූ නීති වේදියෙකුගේ සත්‍ය කථා පුවත. වැඩිදුර විස්තර ඉදිරි ලිපි වලදීත් සඳහන් කරන බලාපොරොත්තුවෙන් ඉතින් මෙතැනින් දැනට අපද්‍රව්‍ය නිසා ඇති අවදානම් සහිත බව පසෙකින් තබා ලිපියේ ඉදිරියට යන්නම්.

මෙම ලිපියෙන් මම ඔබ වෙතට ගෙන ඒමට අදහස් කරන්නේ ගෘහස්ථ අපද්‍රව්‍ය කලමණාකරණය පිලිබඳ ප්‍රායෝගික හොඳ පුරුදු (Best Practices) ගැන.

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපද්‍රව්‍ය නිර්වචනය කරන්නේ අපට අවශ්‍ය නොවන දේවල් විදිහට. ඉතින් අපිට අනවශ්‍ය වූවාට මෙම අපද්‍රව්‍ය තවත් තැනකදී ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් හෝ වෙනත් විද්‍යාත්මක භාවිතාවන් වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඒ පිළිබඳව අපි ඉදිරි ලිපි වලදී කතා කරමු.  

නවෝත්පාදන විසඳුමක් ලෙස අපද්රව්ය කළමනාකරණය - ZBOTEK

ඉතින් මේ විද්‍යාත්මක හා නිවැරදි ක්‍රමවේද සඳහා මෙම අපද්‍රව්‍ය යොමු කරවීමට නම් අප විසින් ඉටු කල යුතු වගකීම තමයි අපද්‍රව්‍ය නිසිපරිදි වර්ගීකරණය කර නිසි පරිදි බැහැර කිරීම. එසේ නොමැති වූ විට මෙම අපද්‍රව්‍ය බොහෝ විට ස්වභාවික පරිසරයේ ගඟකට, කැලෑ ප්‍රදේශයකට හෝ පාලු ස්ථානයකට එකතු වීමට ඇති ඉඩකඩ වැඩි බව අපි සැවොම දන්නා කරුණක්. ඉතින් මම එවැනි එක් ඡායාරූපයක් මෙහි අමුනන්නේ ඒ පිළිබඳව ඔබට කරුණු අවබෝධ කරගැනීමටයි.

අපද්‍රව්‍ය වර්ගීකරණය කල හැකි ආකාර කිහිපයක් ඔබට සොයාගත හැකිවනු ඇති එහෙත් ඔබගේ අවබෝධය පහසු කරලීමට මම පහත ආකාරයට වර්ගීකරණය කරන්නම්.

1.      දිරාපත් වන අපද්‍රව්‍ය - ඉවත දමන ආහාර, පොල්කටු, කාඩ්බෝඩ්, කඩදාසි

2.      ප්‍රතිචක්‍රීකරණය කල හැකි දිරාපත් නොවන අපද්‍රව්‍ය - ප්ලාස්ටික්, පොලිතින් වර්ග, ලෝහ වර්ග, වීදුරු

3.      ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි දිරාපත් නොවන අපද්‍රව්‍ය - සමහර පොලිතින් වර්ග හා ප්ලාස්ටික් වර්ග (මිශ්‍ර ප්ලාස්ටික් වර්ග ප්‍රතිචක්‍රිකරණය කල නොහැක),

4.      උපද්‍රවකාරී අපද්‍රව්‍ය (මිනිසාට මෙන්ම පරිසරයට කෙටි කාලීනව හා දිගු කාලීනව අයහපත් බලපෑම් කලහැකි) - රසායනික අපද්‍රව්‍ය, සනීපාරක්ෂක අපද්‍රව්‍ය, විකිරණශීලී අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (මේවා ආරක්ෂිත තත්ව තුල පරිහරණය හා බැහැර කිරීම අත්‍යවශ්‍ය වේ).

මෙම අපද්‍රව්‍ය වර්ගීකරණය ඔබට අවබෝධ කරගැනීමට පහසු වනු ඇත. ඉතින් ගෘහාශ්‍රිතව අපි අවම වශයෙන් දිරන කසල වෙනමත් (පොල් කටු වෙනම වෙන් කිරීමෙන් ඒවා ඔබට ප්‍රතිචක්‍රීකරණයට යොමුකල හැක), කාඩ්බෝඩ් හා කඩදාසි වෙනමත්, ප්ලාස්ටික් වෙනමත්, පොලිතින් වර්ග වෙනමත්, ලෝහ වර්ග වෙනමත්, වීදුරු වර්ග වෙනමත්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වෙනමත්, සායනික අපද්‍රව්‍ය වෙනමත් හා අනිකුත් රසායනික අපද්‍රව්‍ය වෙන වෙනමත් වෙන් කරගැනීමෙන් ඒවා නිසි පරිදි  බැහැර කිරීමේ ක්‍රියාවලිය හා ප්‍රතිචක්‍රීකරණය පහසු කරවනු ඇත.

එමෙන්ම ආහාර හෝ බීම වර්ග වලින් අපවිත්‍ර වූ පොලිතින් හා ප්ලාස්ටික් ඇතුලු අනෙකුත් අපද්‍රව්‍ය වර්ග හොඳින් වතුරෙන් සෝදා බැහැර කිරීමෙන් දුගඳ හමන තත්ත්වය අවම කර මෙම ක්‍රියාවලිය තවත් පහසු කරනු ඇත.  මේ සඳහා රටක් වශයෙන් දියුණු විය යුතු යටිතල පහසුකම් හා විෂයානුබද්ධ පහසුකම් අඩු වූවත්, එය පසෙකින් තබා හෝ අප තනි පුද්ගලයෙකු ලෙස සමාජයට අපගෙන් වියයුතු වගකීමක් ලෙස තමන්ට හැකි අයුරකින් මේ ආකාරයට කටයුතු කිරීමට පුරුදු පුහුණු වීමම රටක් ලෙස අපගේ අපද්‍රව්‍ය කළමනාකරණය වැඩි දියුණු වීමට අවශ්‍ය මූලාරම්භය සපයනු ඇත.

කසළින් තොර දකුණු පුරවරයක් | ගාල්ල මහා නගර සභාව

අපද්‍රව්‍ය කළමනාකරණය නිසි පරිදි සිදුවන විට ලස්සන පරිසරයක් සමගම, ඩෙංගි (ඩෙංගු), බරවා, මැලේරියා ආදී මදුරුවන් නිසා ඇතිවන රෝගත්, පාචනය, අතීසාරය වැනි බෝවෙන රෝගත් අවමවී, පරිසර දූෂණය අවම වූ සාරවත් දේශයක් අනාගත පරපුර වෙනුවෙන් තිලිණ කිරීමට හැකිවනු ඇත.

(මෙය මවිසින් ගන්නා ලද ඡායාරූපයකි.)

 

References

Saraluck A, Techarang T, Bunyapipat P, Boonchuwong K, Pullaput Y, Mordmuang A. Detection of Microplastics in Human Breast Milk and Its Association with Changes in Human Milk Bacterial Microbiota. J Clin Med. 2024 Jul 10;13(14):4029. doi: 10.3390/jcm13144029. PMID: 39064070; PMCID: PMC11277308.

Graphic Design -

LLLF Media Team

කවීෂා සදමාලි

සටහන -

LLLF Media Team

පසිඳු කුෂාන් ලියනගේ