Back to Blog

සත්ව විද්‍යාව තුළ ගෞරවාන්විත නාමයක් දිනාගත් ඔහු ඇන්ස්ලම් ද සිල්වා

Editor
සත්ව විද්‍යාව තුළ ගෞරවාන්විත නාමයක් දිනාගත් ඔහු ඇන්ස්ලම් ද සිල්වා

උරගයින් පරිසර පද්ධතියේ සිටින අතිශය වැදගත් සත්ව කොට්ඨාශයකි. නමුත් බොහෝ දෙනෙකු උරගයින් සම්බන්ධයෙන් දක්වන්නේ භිතිය මුසු අකමැත්තකි. මේ නිසාම උරගයින් දුටු තැන විනාශ කර දැමීමට බොහෝ දෙනෙකු ක්‍රියා කරනුයේ කිසිදු පැකිලීමකින් තොරවයි. බොහෝ විට සමාජයේ මුල්බැස ගෙන ඇති මිත්‍යා මත හේතුවෙන් ද මිනිසුන් සර්පයින් ප්‍රමුඛ බොහෝ උරගයින් මරා දැමිමට පෙළඹෙනු දැකිය හැකිය. මේ නිසාම බොහෝ විට මිනිසෙකු ඇස ගැටෙන උරගයින්ට විශේෂයෙන් සර්පයින්ට සිදු වන්නේ මුගුරකින් පහර කා සිය දිවිය නිමා කරන්නටය.

එහෙත් උරගයින් යනු පරිසර පද්ධතියේ අතිශය වැදගත් කාර්යයක් ඉටු කරන සොබාදහමේ සමතුලිතාවය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන ජීවියෙකි.

Reptiles of Sri Lanka | Best of Lanka

මෙලෙස උරගයින් විශේෂයෙන් සර්පයන් පිළිකෙව් කරන්නන් අතර උරගයින්ට සර්පයින්ට කුඩා කළ සිටම ආදරය කල අපුරු මිනිසුන් ද සිටිති. ඇන්ස්ලම් ද සිල්වා යනු එවැනි අපුරූ සොඳුරු මිනිසෙකි, උරගයින්ට ආදරය කරන උරගයින් සංරක්ෂණය කරන්නට මුළු දිවියම කැපකළ මිනිසෙකි.

කොන්ගස්ගේ ඇන්ස්ලම් ද සිල්වා උපත ලබන්නේ 1940 වර්ෂයේ අගොස්තු 01 දින මාතරදීය. මාතර ශාන්ත ශර්වේසස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපණය හැදැරු ඔහු කුඩා වියේ සිටම සතුන් පිළිබඳව දක්වා ඇත්තේ මහත් වූ ඇල්මකි. විශේෂයෙන් ඔහු සර්පයින් පිළිබඳව කැමැත්තක් මෙන්ම උන්නදුවක් දක්වා ඇත. පුංචි ඇන්ස්ලම් ද සිල්වා ගම පුරා ප්‍රචලිත වූයේ හුනු මහත්තාය නමිනි. එයට හේතු වුයේ ඔහු ගම පුරා ඇවිදිමින් හුනන් ඇල්ලීමයි. එමෙන්ම ඔහු කුඩා වියේ දී කිඹුලකු හා කැස්බැවන් කිහිප දෙනෙකු ද ඔහු විසින් හදාවඩා ගෙන තිබේ.

ඇන්ස්ලම් ද සිල්වා ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කල සිද්ධියක් සිදුවුයේ ඔහුට වයස අවුරුදු 17 දීය. ඒ ඔහු අතට පත් වු අපුරු පොතක් හේතුවෙනි. ෆ්‍රෑන්ක් පොල් විසින් රචනා කරන ලද Snakes  Of Ceylon නමැති ග්‍රන්ථය කියැවු තරුණ වියේ සිටි ඇන්ස්ලම් ද සිල්වා ගේ සර්පයින් පිළිබඳව වූ ඇල්ම වැඩි විය. එමගින් ඔහු ලංකාවේ සර්පයින් පිළිබඳව දැනුමක් ලබා ගත් අතර ඉන් නොනැවතුනු ඔහු කලේ රටපුරා සිටින සර්පයින් පිළිබඳව පර්යේෂණ ආරම්භ කිරීමයි. මෙලෙස සර්පයින් පිළිබඳව ඔහු ගේ උනන්දුව නිසාම ශ්‍රී ලංකා උභය ජීවි හා උරග පර්යේෂණ සංවිධානය (ARROS) ආරම්භ කළේය. එහි නිර්මාතෘ මෙන්ම සභාපතිවරයා වුයේ ද ඔහුය. උරගයින් සංරක්ෂණය කිරීම ඉලක්ක කර ගනිමින් පිහිටවනු ලැබු මෙරට පළමු රාජ්‍ය නොවන සංවිධානය වන්නේ ද මෙයයි.

අද වනවිට 80 හැවිරිදි වියේ පසුවන ඇන්ස්ලම් ද සිල්වා සිය දිවියේ ගෙවුනු වසර අතරින් 50 ක් ම වැය කර ඇත්තේ මේ කුඩා දිවයිනේ සිටින සර්පයින් ප්‍රමුඛ උරගයින්ගේ හෙට දවස වෙනුවෙනි. ඔහු  ශ්‍රි  ලංකාවේ උරගයින් පිළිබඳව පර්යේෂණ ප්‍රකාශණ 450කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් තර තිබේ. එමෙන්ම වර්ණවත් ඡායාරූප සහිත උරග මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත්කළ පළමු පුද්ගලයා වන්නේ ද ඇන්ස්ලම් ද සිල්වාය. ඔහු බොහෝ විට උත්සහ කලේ සර්පයින් ඇතුළු උරගයින් පිළිබඳව ජනතාව අතර මුල්බැස ඇති මිත්‍යා මත දුරු කරමින් ඔවුන් දැනුවත් කිරීමටය. මේ උදෙසා විවිධ වු ක්‍රියාමාර්ගයන් ඔහු ගත්තේය. 1990 - 2001 කාළ වකවානුව තුළ ඔහු විසින් නිර්මාණය කරන ලද වර්ණවත් ඡායාරූප සහිත උරගයින් පිළිබඳව වු මෙරට පළමු පොස්ටර් මාලාව නිර්මාණය වුයේ මෙම දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිවය.

ඔහු විසින් ප්‍රකාශයට ලත් කර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 17 කි. එමෙන්ම ඔහු නමින් උරග විශේෂ කිහිපයක් නම් කර තිබේ. Calotes desilvai ඔහු නමින් නම් කරන ලද මෙරටට ආවේණක වු කටුසු විශේෂයකි. එමෙන්ම මෙරටට ආවේණික හුනු විශේෂයක් වන Cnemaspic anslemi නම් නම් කර ඇත්තේ ද මේ කිර්තීමත් උරග විශේෂඥයාගේ නමිනි. එමෙන්ම හුනන්ගේ ශරීරයේ ජීවත් වන නෙමටෝඩා විශේෂයක් ද Falcaustra desilvai ලෙස නම් කරන ලද්දේ ඇන්ස්ලම් ද සිල්වා විසින් සිදු කරන ලද විශිෂ්ඨ සේවය සඳහා දක්වන උපහාරයක් කෘතගුණ සැලකීමක් වශයෙනි.

ඇන්ස්ලම් ද සිල්වා මෙරට උරගයින් වෙනුවෙන් ඉටු කරන ලද සේවය නිසාම ශ්‍රී ලංකාව සඳහා වන ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) උභයජීවි ජනගහනය අඩුවිමේ කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙසද පත් විය. එමෙන්ම 2015 වර්ෂයේදී ඔහු ලෝක සංරක්ෂණ සංගමයේ උභයජීවි විශේෂඥ කණ්ඩායමේ සම සභාපතිවරයාද විය.

පේරාදෙණිය සරසවිය ඔහු විසින් ඉටු කරන ලද විශ්ෂඨ සේවය වෙනුවෙන් සිය ගෞරවය පුදකර සිටියේ ඔහුට විද්‍යාවේදී ශාස්ත්‍රපතී උපාධිය පිරිනමමිනි. මේ මෑතකදී ද මෙරටට ආවේණික සර්පයින්ගේ ඡායාරූපල යොදා ගනිමින් රුවන්ඩාවේ සිදු වූ මුද්දර වංචාවක් හෙලිදරවු කර ගැනීම උදෙසා ද ඔහු සිය දායකත්වය ලබා දුන්නේය.

ඔහු සමස්ත ලංකා මැජික් තරඟයෙන් ජාතික සම්මාන දෙකක් දිනු දක්ෂ මැජික් ශිල්පියෙක් වීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් අද වන විට ඔහු මැජික් කරන්නේ උරගයින් වෙනුවෙනි. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙනි.

පරිසරයේ වටිනා පුරුකක් වන සර්පයින් හා උරගයින් අනාගත පරපුර උදෙසා රැක ගැනීමට සිය දිවියම කැප කල ඇන්ස්ලම් ද සිල්වා නම් වන මෙම ජීව විද්‍යාඥයාට, උරග විද්‍යඥයාට රටක් ලෙස අප සියළු දෙනා ණය ගැතිය.

සටහන

LLLF Media Team

නයනකේෂී විජේකෝන්