මිනිසා මේ ලෝකයට පැමිණීමට පෙර සිටම ගිනිකදු සක්‍රිය වීම, පෘථිවි කක්ෂය වෙනස්වීම සහ සූර්ය විකිරණ වැනි විවිධ සාධක හේතුවෙන් පෘථිවි දේශගුණය වසර මිලියන ගණනාවක් පුරාවටම නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී. වර්තමානය වන විට මෙම දේශගුණික වෙනස් වීම් පරිසරයට, කාලගුණයට මෙන්ම අපගේ දෛනික ජීවිතයට පවා දැඩි ලෙස බලපෑම් එල්ල කරදෙන තත්ත්වයක් බවට පත්ව තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ කතාබහ කිරීමේදී පළමුව අප "දේශගුණය" සහ "දේශගුණික විපර්යාස" යනු කුමක්ද යන්න වෙන් වෙන්ව හඳුනා ගනිමු.
'දේශගුණය' ලෙස හැඳින්වෙන්නේ වසර ගණනාවක් පුරාවටම යම් ප්‍රදේශයක/භූමියක පෙන්වන සාමාන්‍ය කාලගුණය යි. මෙම තත්ත්වය කුමන හෝ ආකාරයෙන් වෙනස්වීම 'දේශගුණ විපර්යාසය' ලෙස හදුන්වනු ලබයි. තවද ස්වභාවික ක්‍රියාවලීන් සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවි දේශගුණික පද්ධතියේ හටගන්නා සැලකිය යුතු වෙනස්කම් ලෙස ද දේශගුණික විපර්යාස ලෙස හදුන්වාදිය හැකිය.
මෙම දේශගුණික විපර්යාස පෘථිවිය උණුසුම් කරනවා පමණක් නොව වර්ෂාපතන රටාවන් වෙනස් කිරීම, ග්ලැසියර දිය කිරීම, කුණාටු, ගංවතුර තත්ත්වයන් වැඩි වැඩියෙන් ඇති වීම, හරිතාගාර වායු විමෝචනය වැඩිවීම, සාගරවල ආම්ලික මට්ටම ඉහළ යෑම ආදී පාරිසරික වෙනස්වීම් රැසක් සිදුවනු ඇත. මෙම තත්ත්වයට සැලකිල්ලට ගනිමින් විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ පසුගිය වසර 150 තුළ පෘථිවිය සාමාන්‍ය උෂ්ණත්වය ඔවුන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉතා වේගයකින් ඉහළ යමින් පවතින බවයි.

කෙසේ වෙතත් මෙලෙස ඇතිවන දේශගුණික විපර්යාස වීම් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු සාධකය වන්නේ වනාන්තර විනාශයයි.
වනාන්තර තුළ ඇති ගස් කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වාතයෙන් අවශෝෂණය කර ඒ තුලින් ඔක්සිජන් හා ජල වාෂ්ප නැවත වාතයට මුදා හැරීම සිදු කරනු ලබයි. නිවර්තන වැසි වනාන්තර අතිශය තෙතමනයට ලක්වන්නේ මේ හේතුවෙනි.
පස තෙතමනයෙන් තබා ගැනීම, ජෛව විවිධත්වයන් ආරක්ෂා කිරීම ආදී කාර්යයන් රැසක් වනාන්තර මගින් සිදු කරනු ලබයි.
මෙලෙස පරිසර පද්ධතියට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන වනාන්තර විනාශ කිරීම හේතුවෙන් මේ සියලු දේම අවධානයට ලක්වන බව දැන් ඔබට වැටහෙනු ඇත.

මෙකී දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගයන් ගත් කල රට පුරා උෂ්ණත්වය ඉහළයාම, වර්ෂාපතන රටාවන් වෙනස් වීම, ගංවතුර, නියං, නායයෑම් ඇතුළු විවිධ ආන්තික කාලගුණික සිදුවීම් වලට ගොදුරු වීම, මුහුදු මට්ටම ඉහළ යෑම සහ ඇතැම් කාලවලදී ඇතිවන ජල හිඟය ආදී වූ විවිධ බලපෑම් වලට ලක් වනු ඇත.
එසේ නම් මෙලෙස සිදුවන දේශගුණික විපර්යාස හඳුනා ගනිමින් ඒවාට අනුවර්තනය වෙමින් ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා අප සියලු දෙනා එක්ව පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කිරීම කළ යුතු අතර මතු අනාගත පරපුරට හරිත පරිසරයක් නිර්මාණය කිරීමට නම් වන විනාශයන්ගෙන් වනාන්තර ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ සාමූහික වගකීම සේ සලකා කටයුතු කල යුතු බව මතක තබාගන්න..