Back to Blog

ජෛව විවිධත්වයේ අඛණ්ඩ පැවැත්ම රැක ගන්නේ කෙසේද?

Editor
ජෛව විවිධත්වයේ අඛණ්ඩ පැවැත්ම රැක ගන්නේ කෙසේද?

වසර බිලියන 4.54 කට පමණ පෙර බිහි වූ පෘතුවියයේ ආදි පුර්වජ ශාකයන් බිහිවිම අදින් වසර මිලියන 480- 360 ක පමණ පෙර කාලයකදි සිදුවිය. අඛන්ඩ පරිණාමික ක්‍රියාවලියේ ප්‍රථිඵලය ලෙස ජෛව විවිධත්වය පුළුල් පරාසයක් තුළ ව්‍යාප්තිය ඒත් සමඟම සිදුවිය. ජෛව විවිධත්වය සැලකීමෙහිලා ජෛව විවිධත්වය උණුසුම් කලාපයන්ට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.

ජෛව විවිධත්වයේ වැදගත්කම කුමක්ද?

ක්‍රි. ව 1988 වර්ෂයේ දි බ්‍රිතාන්‍ය පරිසරවේදියෙක් වූ නෝමන් මයර්ස් විසින් ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන පිළිබඳ සංකල්පය මුල්වරට ඉදිරිපත් කරනු ලැබීය. ඒක දේශික විශේෂවල අධික සාන්ද්‍රණයක් සහිත වීම සහ ඒවාට අධික තර්ජනයක් සහිත ප්‍රදේශ ජෛව විවිධත්ව උණුසුම් කලාප වශයෙන් සරලව විස්තර කළ හැකි වේ. ඒක දේශික විශේෂ අවම වශයෙන් 1500 ක ප්‍රමාණයක් අන්තර්ගත වීම, එහි ප්‍රාථමික වනාන්තර 70% ක් පමණ අහිමි වී තිබිම ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වීමට නිර්ණායක ලෙස ඉදිරිපත් කර ඇත.

එමෙන්ම කිසියම් භූමී ප්‍රදේශයකට පමණක් සීමා වූ ජීව විශේෂ ඒක දේශික විශේෂ ලෙස හැඳින්විය හැක. මේ ජීව විශේෂ ලෝකයේ වෙනත් කිසිදු ප්‍රදේශයක ස්භාවිකව හමු නොවීම මෙහි සුවිශේෂිත්වයයි. එමෙන්ම ශ්‍රී ලංකාව ඇතැම් ප්‍රදේශ ඒක දේශික විශේෂවලින් බහුල ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස සලකා ඇත. සිංහරාජ වැසි වනාන්තරය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් UNESCO ( United Nations Educational, Sientific and Cultural Organization) මගින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේද මෙලෙස ඒක දේශික විශේෂවල සුලභතාවය නිසාය.

දැනට සිටින ජීව විශේෂවල පරිණාමීය වෙනස් කම් සිඳුවිම හෝ නෂ්ඨ විමෙන් නව ජීව විශේෂ වලට ඉඩ සැලසිමක් සිදුවේ. මෙය ස්භාවිකව සිදුවන අඛණ්ඩ පරිණාමික ක්‍රියාවලියේ කොටසක් ලෙස සැලකේ. එය ජෛව විවිධත්වය වැඩිවීමට හේතු වී ඇත.

නෂ්ඨ වීම යනු කිසියම් ජීව විශේෂයකට අයත් අවසන් සාමාජීකයත් පෘතුවියෙන් ඉවත් විමයි. කිසියම් තක්සෝනයක පැවැත්ම සඳහා අඛණ්ඩ පීඩනයක් එල්ල වේ නම් විශේෂය පමණක් නොව කුලය, ගණය හෝ උප විශේෂය පවා නෂ්ඨ වීමකට ලක් විය හැක. තක්සෝනයක් යනු විශේෂ ( Species), ඝණ (Genus) , කුල (family), ගෝත්‍ර (Order), වර්ග (Class), වංශ (Phylum), රාජධානි( Kingdom), අධිරාජධානි( Domain) වශයෙන් ගොඩනැගෙන වර්ගීකරණ ධූරාවලියේ ඕනෑම මට්ටමක වර්ගිකරණ ඒකකයකි. ක්‍රි. ව 1964 වර්ෂයේදි පිහිටවන ලද International union for conservation of Nature( IUCN) හෙවත් ස්වභාවය සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය මඟින් ප්‍රකාශයට පත් කරන ලද රතු දත්ත පොත තර්ජනයට ලක් වූ විශේෂවල ලැයිස්තුවක් එලිදක්වා ඇත.

නෂ්ඨ වූ ( Exitinct - EX) , වනමය නෂ්ඨ වූ ( Extinct in the wild - EW), අතිශය අන්තරායට ලක් වූ ( Critically Endangered - CR), අන්තරායට ලක් වූ ( Endangered ( EN), අන්තරායට ලක්විය හැකි ( Vulnerable- VU) ආදී ලෙස ඛාණ්ඩගත කිරිමක් මෙහිදි සිදුවේ. ශ්‍රි ලංකාවේ ජාතික රතු දත්ත වාර්ථාව ලංකාවේ පරිසර පද්ධතිවල තර්ජනයට ලක් වූ ශාක පිළිබඳව තොරතුරු ලබාගත හැකි ප්‍රධානම මුලාශ්‍රය වේ.

ස්වාභාවික ක්‍රියාවලියට අභියෝගයක් එල්ල කරමින් සිඳුවන වන විනාශය, නාගරීකරණය, කෘෂිකාර්මික අරමුණු සඳහා යොදා ගැනීම, ස්වාභාවික වසාස්ථාන ඛන්ඩනය වීම, දේශගුණික සහ කාලගුණික විපර්‍යාස, ආක්‍රමණශීලි පැලෑටිවල ව්‍යාප්තිය, මානව ක්‍රියාකරකම් ශ්‍රි ලංකාව තුළ මෙන්ම ලෝකයේද ජෛව විවිධත්වය සඳහා වූ තර්ජනය ඉහළ දමා ඇත.

පරිසර සංරක්ෂණය පිළිබඳ වූ නීති වඩාත් ශක්තිමත් කිරීම, තිරසාර කෘෂිකාර්මන්තයක් ප්‍රවර්ධනය , නැවත වන වගාව සහ සංරක්ෂණය , පොදු ජනයා දැනුවත් කිරිමෙ වැඩපිළිවෙළවල් පුළුල් කිරිම ජෛව විවිධත්වයට පවතින කෘත්‍රිම තර්ජන අවම කිරීමට උපකාරී වේ.

2020 වර්ෂයේ නිකුත් කරන ලද ජාතික රතු දත්ත වාර්තාවට අනුව 48.4% වූ සපුෂ්ප ශාකත්, 59.1% වූ පර්ණාංගත් තර්ජනයට ලක්ව ඇත. . නමුත් 2012 වර්ෂයේ සපුෂ්ප ශාකවල 44% ක ප්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇති බවට සටහන් වී ඇත. මේ අනුව 2020 වර්ෂයේ ලබාගත් ප්‍රතිඵලය 2012 වර්ෂයේ නිකුත් කරන ලද ජාතික රතු දත්ත වර්තාවන්ට සාපේක්ෂව ඉහළ අගයකි.

Note Book: පරිසර සංරක්ෂණය සහ පළාත් සභාව

පරිසර සංරක්ෂණයට ජනතාව උනන්දු වීම සහ ක්ෂේත්‍රයේ තොරතුරු එක්රැස් කරමින් සිඳුවන ක්ෂේත්‍ර සමීක්ෂණ නිසා ලැබූ ජයාග්‍රාහණද මේ වර්තා ද්විත්වය තුළ අධ්‍යනය කළ හැකි වේ. 2012 රතු දත්ත වර්තා වල 170 ක් වු අතිශය අන්තරායට ලක් වූ ශාක නව වර්තාවේ 128 ක් දක්වා පහළ ගොස් ඇත.

මේ අනුව බලන කළ පරිසර සංරක්ෂණය පිළිබඳව පොදු ජන උනන්දුව සහ උවමනාව ඉහළ නැංවීම තුළ කෘත්‍රිම ලෙස ජෛව විවිධත්වයට සිදුවන බලපෑම අවම කොට තිරසාර අනාගතයකට මංපෙත් හෙළිපෙහෙළි කරගත හැකි වනු ඇත.

නිලුෂිකා ධනංජනි සෙනෙවිරත්න

කොළඹ විශ්වවිද්‍යාලය

මුලාශ්‍ර -

Sanjeewani .N, Samarasinghe. D, Jayasinghe. H, (2024. January 24), Variation of florustic diversity, community composition, endemusm, and conserbation status of tree species in tropical rainforest of sri lanka, Scientific reports.

පාරිසරික ජීව විද්‍යාව, විද්‍යා හා තාක්ෂණ පිඨය, ජාතික අධ්‍යාපන ආයතනය.