උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ෂේශාදි මෙනෙවිය
මස් පිණිස හෝ වෙනත් අවශ්‍යතා පාදක කර ගනිමින් වන සතුන් දඩයම් කිරීමේ පුරුද්ද ඈත අතීතයේ සිට පැවැති නමුත් කොටි ඉලක්කකොට ගත් දඩයම් ක්‍රමයක් පැවැති බවට මෑතකාලීනව තොරතුරු වාර්තා වූයේ නැත. එහෙත් කුමන කරුණක් නිසා හෝ දැන් දැන් කොටින්ද දඩයම් කරන තැනට දඩයක්කරුවෝ පත්ව සිටිති. පසුගිය දිනක කටුකිතුල, පල්ලේගම ප්‍රදේශයේදී කොටියකු ඝාතනයකොට තිබුණේ හක්ක පටස් ආධාරයෙනි. මින් පෙර එළවළු, පලතුරු හා කුකුළු මස් අතුණු බහන් තබා මුවන්, ගෝනුන් හා වල් ඌරන් වැනි වගාවට හානි කරන සතුන් දඩයම් කළද හිතාමතාම කොටි ඝාතනය කරන බව හෙළි නොවූ බැව් ලෙපකොන් සංවිධානයේ සංරක්ෂකවේදී සෙතිල් මුහන්දිරම් ‘ඉරිදා මව්බිම’ට පැවැසීය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්‍ෂිත සත්ත්වයකු වූ කොටි පවා හිතා මතා ඝාතනය කරන තැනට ඇතැමුන් පෙලැඹී ඇති බවට ඔහු චෝදනා කළේය. ඒ වෙනුවෙන්ම ඔවුන් කූට උපක්‍රම ද යොදා ගන්නා බව ඔහු කීය. වසර ගණනාවක් තිස්සේ කොටින් සහ මිනිසුන් අතර ගැටුමක් ඇති බව පැවසුවද සැබවින්ම එවන් ගැටුමක් නොමැති බවද ඔහු අවධාරණ කළේය. ගත වූ වසර ගණනාව තිස්සේම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කොටින් මිය ගියා මිස සැබැවින්ම කොටි පහරදීමෙන් මිනිසුන් මිය නොගිය බවද ඔහු පෙන්වා දුන්නේය. කොටින් මිනිසුන් මඟහැර යනවා මිස නිකරුණේ පහරදීමට කිසිලෙසකින්වත් නොපෙලඹෙන බවද ඔහු අවධාරණය කළේය.

ලංකාවේ කැලෑවල වෙසෙන කොටි සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇත්තේ අනවබෝධයකි. කොටි – මිනිස් ගැටුමක් පවතින බව පැවසිය නොහැක්කේ ලංකාවේ වැඩිපුරම මිය යන්නේ කොටින් මිස මිනිසුන් නොවන නිසාය. ආසන්න වශයෙන් වසරකට කොටින් පහළොවක් පමණ මිය යන විට එකදු මිනිසකු හෝ මරණයට පත් වී නොමැත. එහෙත් කොටින්ගේ පහරදීම් හේතුවෙන් තුවාල ලැබූවන් සිටිය හැකිය. තේ වතුවල සිටියදී කොටි පහරදීම්, ඇඟට කඩා පැනීම්, ඌ කිසියම් ගොදුරක් දඩයම් කිරීමේදී සිදු කරන බාධා කිරීම් හේතුකොටගෙන සිදුවන පහරදීම් ගැන පැවසේ.
එහෙත් කිසිදු විටෙක කොටි සෘජුවම මිනිසුන්ට පහරදීමට නොපෙලඹේ. එවන් පහරදීමක් සිදුවී මිනිසුන් මිය ගිය බවක් වාර්තා වී ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. දශක දෙක තුනකට එහා වුවද එහි වෙනසක් තිබී නැත. කොටි ගැටුමක් නැත. ඇත්තේ ගැටලුවකි.
මදු ගැසීම්, උන්ගේ ස්වාභාවික වාසස්ථාන ආක්‍රමණය කිරීම් වැනි හේතු උන්ගේ පැවැත්මට බාධා ඇති කරයි. ස්වාභාවික ගොදුරුබිම් නැති විට උන් ගොදුරු සොයා මිනිස් වාසය ඇති තැන්වලට පැමිණුනු අවස්ථා පසුගිය කාලයේදී විටින් විට වාර්තා විය. උන්ගේ ස්වාභාවික ආහාර වෙනුවට මෙහිදී වෙනත් විකල්ප අහාර සොයා යයි. උන් නිවෙස්වල ඇති කරන බල්ලන් දඩයම් කරන්නට පෙලඹී ඇත්තේ ඒ නිසාය. කොටියා කෙරෙහි ඇති බිය මුසු ආකල්පය තවමත් වෙනස් වී නොමැති නිසාම තවමත් කොටියා දකින්නේ මිනිසාට ඇති තර්ජනයක් ලෙසටය. එනිසාම විවිධ ක්‍රම මඟින් ඌ ස්වාභාවික පරිසර පද්ධතියෙන් ඉවත් කිරීමට සැරසේ.

දූපත් රාජ්‍යයක් වුවත් ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති රටවල් අතරට අයත්ය. ලංකාවට එවන් වටිනාකමක් හිමිව ඇත්තේ මෙරටටම ආවේණික වූ ජීවී විශේෂ ගණනාවක් මෙහි වෙසෙන නිසාය. අතීතයේදී වනාන්තරවල පවා දක්නට ලැබුණු විශාලතම වනගත බිළාල විශේෂ වූයේ සිංහයන් හා ව්‍යාඝ්‍රයන් බව අතීත මුලාශ්‍රවල දැක්වේ. එහෙත් අද වන විට උන් දැකගත හැක්කේ සත්වෝද්‍යානයකදී පමණි. ඈත අතීතයේදී මෙරට වනාන්තරවල පවා සිංහයන් ජීවත් වූ බවට සාධක හමුව ඇත්තේ රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ මැණික් පතලකිනි. අවුරුදු මිලියන 0.01 සහ 0.05 අතර කාලයේ ජීවත් වූ සිංහයකුගේ දකුණුපස යටි හනුවේ රදනක දතක කොටසක් එහිදී හමුව තිබිණි. මෙරටින් සිංහයන් වඳ වී ගිය බවට සැක කෙරෙන හේතු නිශ්චිතව ප්‍රකාශ වී නැතත් පරිසර තත්ත්වවල වෙනස් වීම හේතුවෙන් උන් වඳව යන්නට ඇතැයි සැලකේ.
අද වන විට මෙරට වනාන්තරවල දක්නට ලැබෙන විශාලතම වනගත බිළාල විශේෂය වන්නේ ‘ශ්‍රී ලංකා කොටියා’ ය. විද්‍යාත්මකව ‘පැන්තෙරා පාඩස් කොටියා’ ලෙසද ඌ හඳුන්වයි. ලෝකයේ සිටින කොටි උප විශේෂ 8 අතුරෙන් මෙරට කොටියා හැඳිවෙන්නේ අන් විශේෂවලට සාපේක්ෂව ශරීර ප්‍රමාණයෙන් විශාලතම උප විශේෂයක් ලෙසටය. මෙරට වෙසෙන හොඳින් වැඩුණු පිරිමි කොටියකුගේ බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 70ක් පමණ වන බව සඳහන්ය. මේ ප්‍රමාණයටත් වඩා බරින් වැඩි සතුන්ද හමු වේ. කොටි හැරුණුකොට තවත් කුඩා බිළාල විශේෂ 3ක් මෙරට ස්වාභාවික පරිසරයේ දැකිය හැකිය.
‘ශ්‍රී ලංකා කොටියා’ යනු ‘මූලස්ථාන’ විශේෂයකි. එසේත් නොමැති නම් මුල් ගල් සත්ත්ව විශේෂයකි. යම් ශාක හෝ සත්ත්ව විශේෂයක් ඔවුන් ජීවත් වන පරිසර පද්ධතියේ පැවැත්මට සෘජු දායකත්වයක් මෙන්ම එම පරිසර පද්ධතියේ නිරෝගී බව පවත්වා ගෙන යෑමට සහාය වන්නේ නම් එම විශේෂ මේ නමින් හැඳින්වේ.
මෙරට ගොඩබිම පරිසර පද්ධති තුළ දක්නට ලැබෙන ‘අග්‍ර විලෝපිකයා’ වන්නේද මේ කොටියාය. මූලස්ථාන විශේෂයක් ලෙස කොටියා හැඳින්වෙන්නේ උන් පරිසර පද්ධති සමතුලිත කිරීමට මූලික වන නිසාය. මුවෝ, ගෝනුන්, වල්ඌරන් වැනි ශාක භක්ෂක සත්ත්ව විශේෂවල ගහනය පාලනය කරනුයේ කොටියන් විසින්ය. ඒ සතුන්ගෙන් වනාන්තරයේ ඇති යටි ශාක වැස්මට හානි වීම වළක්වනවා සේම තෘණ බිම් අනවශ්‍ය ලෙස උලාකෑම අවම කිරීමටද කොටියෝ සමත් වෙති. ඌ ‘අග්‍ර විලෝපිකයෙක්’ ලෙස හැඳින්වෙන්නේ මේ සතුන්ගෙ ගහනය අනවශ්‍ය ලෙස වර්ධනය වීම පාලනය කරන නිසාය. මේ නිසාම ශාක භක්ෂක සත්ත්ව විශේෂ අතර ආහාර සඳහා වන තරගය ද අවම වේ.
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයද ඇතුළත්ව අනෙකුත් පළාත් සියල්ලකම පාහේ කොටි ජීවත්වන බව පැවසේ. නිශ්චිත කොටි ගහනයක් පිළිබඳව දත්ත නැතත් වැඩුණු සතුන් 1000-1500ත් අතර සංඛ්‍යාවක් ඇතැයි අනුමාන කෙරේ.
ලංකාවේ හෝ ලෝකයේ වෙසෙන අනෙකුත් කොටි උප විශේෂවලට නිශ්චිත ප්‍රජනන කාලසීමාවක් ඇති බවට තොරතුරු වාර්තා නොවේ. එහෙත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වැසි සහිත කාලගුණයක් ඇති කාලසීමාවලදී උන් වැඩි වශයෙන් ප්‍රජනන කාර්යයේ යෙදෙන බවය. කොටියකු ඉපදී වයස අවුරුදු දෙකක් පමණ වන විට ලිංගිකව පරිණත වේ. ගැහැනු සත්ත්වයා සිය ශරීරයෙන් නිකුත් කෙරෙන දැඩි ගන්ධය හා ගැඹුරු ගෙරවුම් හේතුවෙන් පිරිමි සතුන් ආකර්ෂණය වේ. ඇතැම් අවස්ථාවල බොහෝ දුරකින් වෙසෙන කොටි පවා සිය සහකාරියන් සොයා පැමිණෙති. සංවාස කාලය තුළදී පවා උන් උන් අතර ගැටුම් ඇති වේ. උන් දින හතක් පමණ එකට ගැවසේ. ඒ කාලය අතර උන් එක්ව දඩයම් සොයා යයි. තනිව වෙසෙන සත්ත්ව විශේෂයක් නිසාම උන් මේ අයුරින් යුගල ලෙස දැකිය හැක්කේ ප්‍රජනන සමයේදී හා වර්ගයා බෝ කරන සමයේදී පමණි.
බොහෝ විට සංසර්ගය සඳහා ඇරයුම ලැබෙන්නේ කොටි දෙනගේ ඉඟියකිනි. පිරිමි සතා වටා කැරකෙමින්, ශරීරය ඉහළ පහළ යවමින්, තම ශරීරයේ පැත්තක් හෝ හිස පිරිමි සත්ත්වයාගේ ශරීරයෙහි අතුල්ලමින් ඈ සංසර්ගය සඳහා ආරාධනා කරයි. ඇගේ ආරාධනය හමුවේ පිරිමි සතා කොටි දෙනගේ පිට මතට නැඟ ඈ යටත් කර ගනියි. සංවාසයෙහි උච්ච අවස්ථාවට පත් වූ පසු පිරිමි සත්ත්වයා කොටි දෙනගේ ගෙලෙහි පිටුපස හපා කන බව පැවසේ. යම් අවස්ථාවල ගැහැනු සතුන් සිය සංවාස කාලය අතරතුර සහකරුවන් දෙතුන් දෙනෙක් සමඟ සංවාසයේ යෙදෙන බව සඳහන්ය.
සංවාස කාලය ඇතුළත ගැහැනු සත්තු තමන්ගෙ දඩයම් සීමාව අත හැර පිරිමි සත්ත්වයා පසුපස යමින් උගේ දඩයම් සීමාවේ වාසය කරති. එහෙත් සංවාස කාලය අවසන් වූ පසු උන් යළිත් තනිව වාසය කිරීමට පටන් ගනියි.
දින 90 – 110 අතර කාලයක් කොටිදෙන ගැබ දරා සිටියි. ඈ වරෙකට කොටි පැටවුන් හතර දෙනෙක් හෝ ඊට අඩු ගණනක් බිහි කරයි. බොහෝ විට කොටි දෙනුන් පැටවුන් දෙදෙනකු පමණක් බිහි කරන බව පැවසේ. බොහෝ කලාතුරකින් පැටවුන් හතරට වැඩි ප්‍රමාණයක් බිහි කළ අවස්ථාද වාර්තා වී ඇත. ඈ ගුහාවක හෝ ඉඩකඩ ඇති බෙනයකදී පැටවුන් බිහි කරයි. මෙලෙස ඉපදෙන පැටවුන් උපතින්ම අන්ධ පැටවුන් ලෙස හැඳින්වේ. ඉපදෙන පැටවකුගේ සාමාන්‍ය බර ග්‍රෑම් 430-1000 අතර අගයක් ගනී.
දින හයක් හෝ දහයක් ගත වන විට පැටවුන් ඇස් විවර කරයි. ඒවා නිල් පැහැතිය. උන් ක්‍රමයෙන් වැඩෙන විට ඒවා ආලෝකයට නිරාවරණය වීමෙන් නිල් පැහැ ඇස් කහ – දුඹුරු පැහැයට හැරේ. උන් මව් කිරෙන් දින සියයක් පමණ පෝෂණය වේ. ඉපදී දින 65 ක් පමණ ගත වන විට මව විසින් මස් ආහාරයට ගැනීමට පැටවුන් හුරු කරයි. කුඩා පැටවුන්ගේ ඉව පසුපස ඇදී එන පිරිමි කොටි, හිවලුන්, පිඹුරන් වැනි විලෝපිකයන් නිසා මව සහ පැටවුන් එකම තැනක නොරැඳේ.
අප්‍රිකානු රටවල කොටි, හයිනාවන්, සිංහයනුත් මේ කුඩා පැටවුන්ගෙ විලෝපිකයන් ලෙස සැලකේ. එම නිසා ඒ රටවල වෙසෙන කොටි දෙනුන්ද තම පැටවුන් රැගෙන තැනින් තැනට ගමන් කරයි. යම් යම් අවස්ථාවල අප්‍රිකානු කොටි විශේෂයේ ගැහැනු සත්ත්වයාගේ ඥාති සතුන් පැටවුන් රැකබලා ගන්නා බවට වාර්තා පැවැතියත් මෙරටින් එවැනි වාර්තා ලැබී නොමැත.
කොටි පැටවුන් ඉපදී මුල් මාස 3 ඇතුළත මරණ අනුපාතය ඉතා ඉහළය. එමෙන්ම පළමු අවුරුද්දේ මරණ අනුපාතය 50-90% ත් අතර ප්‍රතිශතයක් ගනී. උන් ඉපදී මාස 18ක් පමණ වන විට මරණ අනුපාතය 37ක් වැනි අගයක් දක්වා පහළ වැටේ.
මාස හයක් පමණ යන විට උන් දඩයම් කිරීමට මවගෙන් උගනී. පැටවුන් එකිනෙකා හා සෙල්ලම් කරමින් ගස් නැඟීමට මෙන්ම දඩයම් කිරීමේ උපක්‍රමද උගනී. මාස 10 ඉක්මවන විට කොටි පැටවුන් තනිව ජීවත් වීමට තරම් ශක්තිමත්ය. එහෙත් උන් ඉපදී මාස 18ක් හෝ 24ක් පමණ ගත වනතුරු මව සමඟ වෙසේ. ඉපදී අවුරුදු දෙකක් අවසානයේදී පිරිමි පැටවුන් මවගේ රැකවරණයෙන් මිදී සුපුරුදු දඩ බිමෙන් ඉවත්ව අලුත් දඩබිමක් සොයාගෙන යයි. ගැහැනු පැටවුන් මවගේ දඩබිම ආසන්නයේම ගොදුරු බිමක් සොයා ගනියි. පැටවුන් නික්ම ගිය පසු මව යළිත් ප්‍රජනන ක්‍රියාවලියට සූදානම් වේ. යම් යම් අවස්ථාවල කොටින්ගෙ මාතෘ බන්ධනය පිළිබඳව සාක්ෂි ලැබී ඇත. ඒ මව හා පැටවුන් එකිනෙකා හඳුනන බවට උන් හමු වූ විට සිදු කරන නිරීක්ෂණ මඟින්ය.

පසුගිය දිනවල මද්දකට හසු වී තුවාල ලබා සිටි කළු කොටියකු හමු වීමත් සමඟ මෙරට කළු කොටි පිළිබඳව අමුතු කතාබහක් මතු වූයේ උන් වෙනත් විශේෂයක සතුන් ලෙස හුවා දක්වමිනි. එහෙත් උන් කොටින්ගේම නිලීන ජානවල ප්‍රතිඵලයක් මිස වෙනත් විශේෂයක සතුන් නොවේ.
අප්‍රිකානු, ඉන්දියානු, ජාවා, ලංකා හා ඉන්දු චීන උප විශේෂ පහ තුළ කළු කොටි දැකිය හැකිය. විකෘති ජාන හේතුවෙන් සම්පූර්ණයෙන්ම කළු වර්ණ දරන සතුන්ට ස්වාභාවික පරිසරය තුළ උපද්‍රව බොහෝ විට අඩු බව පැවසේ. උන් වනාන්තරවල ඇති අඳුරු පැහැයයෙන්ම ශරීර වර්ණය දරන නිසා කළු වර්ණය සහිත සතුන්ට දඩයම්වලදී වාසියකුත් ප්‍රජනනයේදී අවාසිදායක තත්ත්වයකුත් ඇති කරන බව හෙළිව ඇත. ජාන විකෘතියක් නිසාම මේ සතුන්ගෙත් සාමාන්‍ය කොටියන්ගෙත් ශරීරයේ දක්නට ලැබෙන පුල්ලි පැහැදිලිවම දකින්නට නොලැබේ. එහෙත් ඉතා සියුම්ව නිරීක්ෂණය කළහොත් උන්ගේ ශරීරයේ අනෙක් සතුන්ගේ මෙන් පුල්ලි ඇති බව දැකිය හැකිය. පරිසර විද්‍යාඥයන් පවසන්නේ කෘෂ්ණතාවට ලක් වූ මෙවැනි සතුන්ගේ ආයු කාලය සාමාන්‍ය සතෙකුට වඩා අඩු බවය.
ලංකාවේ මින් පෙරද කළු කොටි සිටි බව රොබට් නොක්ස්ගේ වාර්තාවල දැක්වේ. දෙවැනි රාජසිංහ රජුගේ රාජකීය සත්වෝද්‍යානයේ කළු පැහැ කොටියෙක් සිටි බව එහි ලියැවී ඇත. ජෝන් ඩී. ඔයිලි වර්ෂ 1812දී ලියූ වාර්තාවක ඇලපාත නිලමෙතුමාගෙ ආදිතමයෙක් සීතාවකදී කළු කොටියකුව දඩයම් කළ බවද දැක්වේ. එමෙන්ම වර්ෂ 1909දී ලෙනාඩ් වුල්ෆ් සිය ලේඛනවල වෙඩි තබා මරා දැමූ සුදු කොටියකු පිළිබඳව වාර්තා කරයි. ආර්. එල් ස්පිට්ල් රචනා කළ ‘සුදු ගෝනා’ කෘතියෙහි ද ‘දීයා’ නම් කළුකොටි දෙනක් පිළිබඳව කරුණු හෙළි වේ. මහාචාර්ය ශිරාන් දැරණියගල 1996දී ලියා පළ කළ ස්වයං චරිතාපදානයේදී වැල්ලවාය කුඩා ඔය ප්‍රදේශයේදි වෙඩි තබා ඝාතනය කළ කළු කොටියෙක් ගැන සඳහන්. කොට ඇත.
ඈත අතීතයේ සිටම සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය හා එහි අවට පෙදෙස්වලින් මේ කළු කොටි පිළිබඳව වාර්තා විය. එමෙන්ම 2000-2020 කාලය තුළ ඡායාරූපමය සාක්ෂි සහිතව මියගිය පිරිමි කළු සතුන් දෙදෙනකුත් කොටි දෙනකුත් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත. අවාසනාවකට ඒ සතුන් තිදෙනාම මිය ගොස් තිබුණේ මදු ගැහීමේ හේතුවෙනි. ලංකාවේ කැලෑවල වෙසෙන කොටියා ‘දිවියා’ ලෙස තවමත් හඳුන්වන අයද සිටිති. එහෙත් ලංකාවේ කැලෑ තුළ කොටියන් මිස දිවියන් නොමැත. මේ ව්‍යාකූල බව කෙතරම් නිවැරදි කළද ඇතැම් අය තවමත් එය පටලවා ගනිති.
අද වන විට වනජීවී වෙළෙඳාම ව්‍යාප්ත වීමත් සමඟම කොටිද තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂයක් බවට පවත්ව ඇත.
ගත වූ වසර දහයක පමණ කාලය තුළ කොටි පිළිබඳව මිනිසුන්ගේ ආකල්පයද යම් තාක් දුරකට වෙනස්ව ඇත. උන් ගැන විවිධ පර්යේෂණ මෙන්ම උගුල් කැමරා ආශ්‍රයෙන් දත්ත රැස් කෙරෙයි. අතීතයේදී කොටි මරණ සැඟවී ගිය කාරණයක් බවට පත්ව තිබිණි. ඒ, ඒවා හෙළි වීම සඳහා අවස්ථාවක් නොතිබූ නිසාය. එහෙත් සමාජ මාධ්‍ය ව්‍යාප්තියත් සමඟ එය එසේ නොවන තැනට පත්ව ඇත. වර්තමානයේදී වාර්තා වන කොටි මරණ බහුතරයක් පාහේ සමාජ මාධ්‍යවල තොරතුරු පළ වන ඒවාය. වෙනදාට වඩා අපරාධ හෙළි වේ. වනජීවී අපරාධ සැඟවී යන තරමට යම්කිසි සත්ත්ව ගහනයකට හෝ ශාක ගහනයකට සිදුවන හානිය තක්සේරු කොට ගැන්මටවත් නොහැකි තැනට පත් වේ. එහෙත් අද වන විට මේ මරණ පිළිබඳ තොරතුරු හෙළි වේ. මේ සියල්ල මිනිසාගේ මැදිහත් වීමෙන් සිදු වූ ඒවා මිස ස්වාභාවික හේතු නිසා සිදු වූ මරණ නොවේ. වාසස්ථාන අහිමි වීම් මෙන්ම දඩයම් කිරීම් පිළිබඳවද මෙහිදී අවබෝධයක් ලබා දේ. ඇතැම් වනජීවී ඡායාරූප ශිල්පීන් හේතුවෙන්ද කොටි සංරක්ෂණය නව මුහුණුවරක් ගෙන ඇත. ඒ ඡායාරූප තුළින් සංචාරක ක්ෂේත්‍රයද නව මානයක් කරා ගෙන යයි. ඇතැම් විදේශීය සංචාරකයන් කොටි නැරැඹීමට පමණක්ම මෙරටට පැමිණෙන අවස්ථා පවතියි.