Back to Blog

වන අලින්ටවෙඩි තැබීම සමූල ඝාතනයක ඇරැඹුමක්ද?

Editor
වන අලින්ටවෙඩි තැබීම සමූල ඝාතනයක ඇරැඹුමක්ද?

උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ෂේශාදි මෙනෙවිය

දැදුරු ඔය නිම්නය හැඩ කළ සද්දන්ත පරපුරේ තවත් එක් පුරුකක් ජූලි මාසයේ 15 වැනිදා උදෑසන නවයටත් පෙර සදහටම දෑස් පියාගෙන තිබිණි. එක අතකින් ඌ දුක් විඳීම අවසන් කොට තිබිම සැනසීමකි. අනෙක් අතට ඇත් පරපුරක ශක්තිවන්තයකු අකාලයේ මහපොළොව මතට ඇදවැටී තිබිම අවාසනාවකි. “භාතිය මැරුණා” “නෑ… මැරුණේ නෑ.” “මැරුවා.”

ශ්‍රී ලංකාවේ අලි මරණ ඉහළ යද්දී දුම්රිය, වන සංරක්ෂණ බලධාරීන් කියන කතා - BBC  News සිංහල

භාතියගේ මරණය ගැන කියන්නට ඇත්තේ එපමණකි. තවත් වසර ගණනාවක් කෙසේ හෝ ජීවිතය පවත්වාගෙන යෑමට අයිතිය තිබූ තුරුණු වියේ පසු වූ හස්තියෙක් නිකරුණේ මරා දමා අවසන්ය. වෛද්‍යවරුන් පවසන පරිදි උගේ ඇඟේ වෙඩි උණ්ඩ කිහිපයක්ම තිබී ඇත. උගේ ඉදිරිපස එක් කකුලක් ආසාදනයට ලක්වී ඇත්තේද වෙඩි උණ්ඩයකින් බව වෛද්‍යවරු පැවසූහ. අනෙක් කකුලේ සිලම්බු අඩිය ගැලවී ගොස්ය. කන හරහා කර්ණශංකයටද හානි කොටගෙන සිරුර පසාරු කරගෙන ගිය උණ්ඩයක්ද තිබු බව අනුමාන කෙරේ. පොල්පිතිගම ප්‍රදේශයේ වතුර පිරුණු වළකදී අනේක වූ වේදනා විඳ අවසන් හුස්ම හෙලූ භාතිය කිසිදු ආගමකට අයත් වූවෙක් නොවුණද බෞද්ධාගමික චාරිත්‍රානුකූලව පැන් වඩා පින් අනුමෝදන් කොටද අහවරය. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවශ්‍ය කොටස් රැගෙන සිරුර එහිම භූමදානය කොටද අවසන්ය. එහෙත් භාතියගේ කතාව අවසන් නැත. එය මෙරට ඇත් පරපුරේ අවාසනාවන්ත කතා ගොන්න අතරට ඇතුළත්ව ඇත්තේ තවමත් නොවිසඳුණු යුක්තිය ඉටුනොවූ සාහසික අපරාධයක් ලෙසටය.

මේ මරණය නිශ්චිතවම වෙඩි වැදී සිදු වූ එකක් බව පැවසිය නොහැකිය. එය සත්‍යයකි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව නිශ්චිතවම අනාවරණය විය හැකිය. එහෙත් සත්ත්වයා මේ තරම් අසරණ වූයේ, ඒ තරම් පීඩාවක් වින්දේ ඌ වෙත එල්ල වූ වෙඩි උණ්ඩවලින් බව නම් පැහැදිලිය. උගේ කකුල ඉබේ ආසාදනය වූවක් නොවේ. සිරුරේ සමබරතාවද අහිමිවන අයුරින් කර්ණශංකයටද හානි වූයේ වෙඩි උණ්ඩයකින් මිස අන් හේතුවකින් නොවන බව පශු වෛද්‍යවරුම පවසා ඇත.
 දැදුරු ඔය නිම්නයේ වෙසෙන සද්දන්ත හස්තීන්ගෙන් මේ වන විට ඉතිරිව ඇත්තේ  කාවන්තිස්ස ඇතු පමණක් බව පැවැසේ. මේ දිනවල ඌ මඳ සමය ගත කරයි. මෙරට සිටින හස්තීන් අතර උසින් වැඩිම හස්තියකු සේ සලකන කාවන්තිස්සගේද ජීවිතය අනතුරේ බව බොහෝ දෙනා පවසති. ඒ, අලි මරණ පිපාසාවෙන් ඇවිදින සාහසිකයන් නිසාය.

දැදුරු ඔය නිම්නය හැඩ කෙරූ සංඛ මියගියේද වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුකොටගෙනය. කවරකු හෝ සංඛට වෙඩි තබා තිබිණි. ඌ අමාරුවෙන් ඇවිද යද්දී වැසිකිළි වළකට ඇද වැටී ඇත. ඒ උගේ අවසන් ගමනය. දැදුරු ඔය නිම්නය හැඩ කෙරූ සද්දන්තයන් එකින් එකා බිතුසිතුවම් සේ මතකයේ පමණක් ඉතිරිව පවතියි. අවසන් ඇතුද මියෙන තෙක් සංරක්ෂණය කට වචනයට පමණක් සීමා වේ දැයි යන්න සැක සහිතය. 

මිනිස් සම්පත රකින ගමන්ම අලි සම්පතත් රැකගනිමු - Lankadeepa Online

කැබිතිගොල්ලෑවේදී ඉකුත් ජූලි 08 වැනිදා වන අලියෙක් ඝාතනය කොට තිබුණේ හිසේ එක් පසෙකට වෙඩි තබාය. එම සිදුවීමෙන් සතියක් ගතවනතුරුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ නැති බවට වාර්තා විය. පසුගිය සති කිහිපය තිස්සේම වන අලි ඝාතනය වූයේ වෙඩි තැබීමෙනි. ඉලක්කය වී තිබුණේ බොහෝ විට උන්ගේ හිසය. කැබිතිගොල්ලෑවේදී ඝාතනයට ලක් වූ අලියාගේ හිසට වැදී තිබූ වෙඩි පහර හේතුවෙන් ඉදිරි ගාත් දෙක බිමට නැවී පොළොවටම ඇද වැටී මියගොස් තිබුණු අයුරු දිස්විය. පසුගිය වකවානුවේ එක දිගට ඝාතනය කොට තිබුණේ පිරිමි අලින්ය. එසේත් නොමැති නම් ඇතුන්ය. උන් මෙරට හස්ති පරපුර ඉදිරියට ගෙනයන ශක්තිමත් ජාන පරම්පරාවයි. උන් වෙඩි තබා මරා දමා මේ සිදුකරනුයේ සමූල ඝාතනයක්ද යන්න සැක සහිතය.

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට හත් වැනි මාසය වූ ජූලි 15 වැනිදා වන විට අලි ඇතුන් 219 දෙනෙක් මරණයට පත්ව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ දත්ත හෙළි කරයි. එතරම් අලි ගණනක් මරණයට පත් වූවා යැයි පැවසුවද ඒ මරණවලින් 116ක්ම අයත් වන්නේ චේතනාන්විතව හෝ අනියම් අයුරින් සිදුකළ ඝාතනය කිරීම් ගොන්නටය. අලි ඇතුන් 37 දෙනකු වෙඩි තබා ඝාතනය කොට ඇත. තවත් 38 දෙනෙක් “විදුලිසර” වද්දවා ඝාතනය කොට තිබිණි. හක්කපටස් නිසා අලි ඇතුන් 21 දෙනකු මියගොස්ය. විස ශරීර ගතවීම් හේතුවෙන් අලි ඇතුන් 03 දෙනකු මරණයට පත්වූහ. දුම්රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ ගණන 12කි. මාර්ග අනතුරු හේතුවෙන් එක් අලි මරණයක් සිදුව ඇත. වගා ළිංවලට වැටී සිදු වූ මරණ ගණන දෙකකි. වෙනත් අනතුරු හේතුවෙන් මරණ දෙකක් සිදුව ඇත. එහි එකතුව 116කි.

වන අලි ගැටලුවට නව විසදුම් – Monara.com

මේ වසරේ සිදු වූ මුළු මරණ ගණනින් ස්වාභාවික හේතූන් හෝ නිශ්චිතවම හේතු ප්‍රකාශ කළ නොහැකි මරණ ගණන 103ක් ලෙස දැක්වේ. ස්වාභාවිකව සිදුවන මරණ ගණනට වඩා මානුෂීය මැදිහත් වීම මත සිදුකෙරෙන හෝ සිදුවන මරණ ගණන වැඩිය. ජූලි 15 වැනිදාට පසු ගත වූ දින කිහිපයේදී තවත් අලින් පස් දෙනෙකු මරණයට පත්ව ඇත. ජූලි 17 වැනිදා  බුත්තල, මහගොඩයායේදී අලි මළ සිරුරක් සොයාගෙන තිබිණි. ඒ වෙඩි වැදී සිදුවූ තුවාලද සහිතවය. පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේදී කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වූ දුම්රියේ ගැටී වන අලියකු මියැදුණේ 18 වැනිදාය. උගේ පසුපස ගාත් දෙකම දුම්රියේ ගැටී ඇත. රේල් පාරෙන් ඉවතට ආ අලියා දෙකට වෙන් වූ පසුපස කකුලක් ද අද්දමින් වේදනාවෙන් ඇඹරෙන අයුරු දැක්වෙන දසුන කවරෙක් හෝ වීඩියෝ ගත කර ඇත. ඌ මියැදෙනුයේ අධික වේදනාවෙන් බව එහි පෙනේ. තවත් අලියෙක්ගේ මළ සිරුරක් සොයාගෙන

තිබුණේ ගිරාඳුරුකෝට්ටේදීය. ඒ 18 වැනිදා උදෑසනය. උගේ සිරුරේද වෙඩි වැදී තුවාල වූ සලකුණු විය. යාල ජාතික වනෝද්‍යානයේ දෙවැනි කොටසෙහි තිබී අලි මළ සිරුරු දෙකක් හමුව ඇත. දිගොල්ලාවැව උද්දකන්දර කුණු කන්ද කිට්ටුව මේ සතුන් මියැදී සිටියදී සොයා ගෙන තිබිණි. සිකුරාදා දිනයේ එනම් ජුලි 18 වැනිදා හිරු අවරට යන මොහොත වන විට අලි මරණ 4ක් පිළිබඳව වාර්තා විය. මේ සියල්ල ගත්විට අලි 224 දෙනකු මරණයට පත්ව ඇත. මානුෂීය මැදිහත් වීමෙන් සිදු වූ මරණ ගණන තවත් ඉහළ ගොස් ඇත.

මේ අතරේ වෙඩි වැදුණු අලි ඇතුන් 13 දෙනකුට මේ වන විට වනජීවි පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබිණි. පරිසර අමාත්‍යවරයාද මේ බව සිය මුහුණු පොතේ ගිණුමේ සඳහන් කර තිබිණි. අනුරාධපුර ප්‍රදේශයේ අලි හතක්, පොළොන්නරුවේ අලි තුනක්, වවුනියාවේ එක් අලියකු, යාල වනජීවී කලාපයේ අලි දෙදෙනකු ආදී ලෙස ඇතෙක් ඇතුළු අලි දහතුන් දෙනකු ප්‍රතිකාර ලබන බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) තාරක ප්‍රසාද් සඳහන් කළේය.

වාර්ෂිකව සිදුවන අලි මරණවලින් සියයට 20%ක්ම සිදුවන්නේ ගිනි අවිවලින් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබිණි. එයින්ද 90%ක් නීති විරෝධී ගිනි අවි භාවිතයෙන් සිදුවන මරණ බව ඔහු පවසයි. මේ වෙඩි තැබීම්වලින් සිදුවන අලි මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා නිරීක්ෂණයෙන් හෙළිව ඇත්තේ මේවා ගෘහාශ්‍රිතව සකස් කළ නීති විරෝධී ගිනි අවිවලින් සිදුවු මරණ බවය. පහුගිය ආණ්ඩු සමයන්හිදී වගා ආරක්ෂාවට යැයි පවසමින් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් බෙදා දී තිබූ බව පැවැසිණි. වත්මන් කෘෂිකර්මයේ “ඉහළ බලධාරියකු” වගා බිම්වලට පැමිණෙන වන සතුන්ට කැමැත්තක් කිරීමට ගොවීන්ට ඉඩ ඇති බවට කළ ප්‍රකාශයකට එරෙහිව පරිසර සංවිධානවලින් විරෝධය එල්ල වෙමින් පවතී. ඔවුන් පවසනුයේ ගොවියාගේ ගැටලුවට වෙනමත්, වනසත්ව ඝාතන ගැන ඇති ගැටලු වෙනමත් ආමන්ත්‍රණය නොකොට එය එකම තැනකට ගෙන ආ යුතු බවය. මේ ගිනි අවි “වහාම ආපසු පවරා” ගැනීමට කටයුතු කළ යුතු බව පවසමින් ඔවුහු සිය විරෝධය දක්වති.

අලි මිනිස් ගැටුම අවම කරගැනීම සඳහා අලි මංකඩ 16ක් නිදහස් කරගැනීමට අවධානය….

මේ අතරේ තුවාල ලබන වන සතුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බව වනජීවියේ ඉහළ බලධාරීහුම පවසති. ඇමැතිවරයාගෙන් වරක් මේ බව “මව්බිම” කළ විමසීමකදී පැවැසුවේ වනජීවියට බැඳෙන්නට පශු වෛද්‍ය සිසුන් මැළිකමක් දක්වන බවය. එනිසාම වනජීවියට ප්‍රමාණවත් තරම් පශු වෛද්‍යවරුන් නොමැති බව පැවසිණි. අනෙක් අතට ප්‍රමාණවත් තරම් පහසුකම්ද ඔවුන්ට නොලැබෙන බවට චෝදනා නැඟේ. ඒ අතරේ භාතිය මරණාසන්නව වැතිර සිටිද්දී වනජීවී විෂය භාර ඇමැතිවරයා ප්‍රකාශකොට තිබුණේ තුවාල ලබන වන සතුන්ට ප්‍රතිකාර කරන්නට ජංගම වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කරන බවය. තුවාල ලබන අලින්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලක් ඉදිකරන බවය. ප්‍රමාණවත් තරම් සම්පත් හෝ පශු වෛද්‍යවරු නොමැතිව මේවා කෙතරම් ප්‍රායෝගිකව ඉටු කළ හැකි වේද යන්න පරිසරවේදීහු ප්‍රශ්න කරති. 

මෙරට වනජීවීන් සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රධාන වශයෙන් බලය පැවරී ඇත්තේ 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මඟිනි. එම පනත ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් නිලධාරීහු වන්නේ අඩවි ආරක්ෂකවරු, අඩවි සහකාරවරු සහ වන සත්ත්ව නියාමකවරුය. එහෙත් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම සඳහා අනුමත සේවක සංඛ්‍යාව වන 1,591න් මේ වන විට සියයට හතළිහකට වඩා පුරප්පාඩුව ඇති බව වනජීවී වෘත්තීය සමිති පවසති. ප්‍රමාණවත් තරම් නිලධාරීන් බඳවා නොගැනීම හේතුවෙන් රාජකාරි කටයුතුවලදී තමන් මහත් වූ දුෂ්කරතාවලට මුහුණ දෙන බවද ඔවුහු පවසති. අඩු තරමේ තම ජීවිතයද අවදානමේ හෙළා ගනිමින් සිදුකරන රාජකාරිය වෙනුවෙන් ප්‍රමාණවත් තරමින් දිරි දීමනාවක්වත් නොලැබෙන බවට ඔවුහු චෝදනා කරති.

මෙරට බිම් සමස්ත ප්‍රමාණයෙන් අලි ඇතුන් ජීවත් වනුයේ සියයට හැටක පමණ ප්‍රමාණයක පමණි. අද වන විට අලි ඇතුන් ජීවත් වන බිම්ද සංවර්ධන ව්‍යාපෘති හෝ වෙනත් මානුෂීය අවශ්‍යතා සඳහා නතුව ඇති නිසා උන්ට ජීවත්වීමට ඇති ඉඩම් අහිමි වී යමින් පවතී. වන රක්ෂිත හරහා උන් ගමන් කළ වනාන්තර කොරිඩෝද විවිධ හේතු මත මිනිසුන් පරිභෝජනය කරන ඉඩම් බවට පත්ව ඇත. එක්කෝ ඒවා බලහත්කාරයෙන් අල්ලාගෙනය. එසේ තිබියදී ජීවත්වීමට ඉඩක් නොමැතිව ආහාර අවශ්‍යතා වෙනුවෙන් මිනිස් වාසස්ථාන ආසන්නයට ඇදෙන අලි ඇතුන් වෙඩි තබා ඝාතනය කිරීම කෙසේ නම් සාධාරණීකරණය කරන්නද?

හොරොව්පොතාන අලි රැඳවුම විගණකාධිපති වාර්තාවකින්ම අලි ඇතුන්ට හිතකර නොවන තැනක් බව පවසද්දීත් ඒ පිළිබඳ තැකීමක් නොකොට තවදුරටත් අලි ඇතුන් රඳවා තැබීමට එය භාවිත කරන බවට චෝදනා නැඟේ. මාතලේ ප්‍රදේශයේ නිජබිම කොටගත් දෑස් නොපෙනෙන අලියෙක් පසුගියදා හොරොව්පොතානට ගෙනගොස් දැමූ බවට චෝදනා නැඟිණි. මේ වන විට එම අලියාට සිදුවූයේ කුමක්ද යන්න කිසිවකු නොදනී. පසුගිය වසර කිහිපයේම අත්හදා බැලූ “අලි පැන්නිලි” මේ ආණ්ඩුවද අත්හදා බලා තිබිණි.

මේ සියල්ල අතරේ අලි මරණ ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. 2015 වසරේ අලි මරණ 205ක් සිදුව ඇත. 2016 වසරේ අලි මරණ 279කි. 2017 වසරේදී අලි ඇතුන් 256ක් මියගොස්ය. 2018 වසරේදී මරණ 319කි. 2019 වසරේදී අලි මරණ 405ක් සිදුව තිබිණි. 2020 වසරේ අලි මරණ ගණන 328කි. 2021දී අලි මරණ 375කි. 2022 වසරේදී අලි මරණ 439ක් සිදුව ඇත. 2023 වසරේදී අලි මරණ ගණන 488කි. 2024 වසරේදී මරණ 386ක් ලෙස දැක්වේ. ගත වූ වසර නවය තුළදී පමණක් අලි ඇතුන් 3,480ක් මරණයට පත්ව ඇත. මේ 2025 වසරය. ගත වූ මාස හතේ දවස් 20ක් ගතවන විට සිදුවී ඇති අලි මරණ ගණන 224කි. මේ වාර්තා වූ ඒවා පමණි. වසර අවසන් වන විට කෙතරම් අලි ප්‍රමාණයක් මේ දූපතෙන් සදහටම ඉවත්ව යා දැයි හිතා ගැන්මටවත් නොහැකිය.

ලබන වසරේදී ශ්‍රී ලංකාවේ වන අලි ගහනය පිළිබඳ සමික්ෂණයක් - Siyatha News

අලි ඇතුන් යනු මුල් ගල් (Keystone) සත්ව විශේෂයකි. උන් ලෝකයේ දක්නට ලැබෙනුයේද රටවල් කිහිපයක පමණි. එසේ තිබියදී අලි ඇතුන්ට උන්ගේ නිජබිමේ නිදහසේ ඇවිද යන්නට ඇති ඉඩහසර අවහිර කරනුයේ සියල්ල පාලනය කළ හැකි බවට පවසන ඔලුව උදුම්මවා ගත් උන් මිස අන් කවරෙකුවත් නොවේ. ජෛව විවිධත්වයෙන් පිරි බිමක්, අලි ඇතුන් ඝාතනය කරන ඝාතකාගාරයක් බවට පත්කිරීමට ඉඩ සලසා ඇත්තේ නීති තිබියදීත් එය ක්‍රියාත්මක නොකොට නිහඩ පිළිවෙතක් රකින බලධාරීන් මිස අන් අයෙක් නොවේ.