Back to Blog

ජූලි 31 ලෝක වනජීවී ආරක්ෂක දිනයයි

Editor
ජූලි 31 ලෝක වනජීවී ආරක්ෂක දිනයයි

පිළිම නෙලා නැති විරුවන් සමරන දිනය අදයි !

අද ජුලි 31 වැනිදා ය. නැතිනම් ලෝක වන අඩවි ආරක්ෂකවරුන්ගේ දිනයයි. (World Rangers Day)

ලොව පුරා විවිධ තනතුරු නාමයන් දරමින් වනජීවී,ස්වභාවික සම්පත් හා ජාතික උරුම ආරක්ෂණ වෘත්තියේ යේදී සිටින වෘත්තීයවේදීහු ඔව්හු වෙති.

No photo description available.

මේ දිනය මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1992 දී ආරම්භ කරන ලද International Rangers Federation සංවිධානය විසිනි.එම සම්මේලනයේ 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ලොව පළමු වරට ලෝක වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයින්ගේ දිනය 2007 වර්ෂයේ දී අති උත්කර්ෂවත්ව සමරන ලදී.

ලෝකය පුරාම වන පද්ධති හා වන සතුන් අද මුහුණ දී සිටින්නේ ඉතාම විසල් අනතුරකට බව රහසක් නොවේ. මේ නිසාම ශාඛ හා සත්ත්ව විශේෂ වඳ වීමට ලක් වෙමින් ඇත.මේ මහ ව්‍යයසනයෙන් වනපෙත් වන සතුන් හා ජාතික උරුම රැක ගැනීමේ අරමුණෙන් කටයුතු කරන වනජීවී හා වන සංරක්ෂණ අඩවි ආරක්ෂකරු ප්‍රමුඛ එයට ආදාළ සෙසු නිලධාරින්ගේ සේවාව සැමරීම සඳහා මේ දිනය ලංකාවේ ද සමරනු ලබයි.

ඇත්තෙන්ම වනජීවී හා වනසංරක්ෂණ නිලධාරින් කරමින් සිටින්නේ අති විශිෂ්ඨ සේවාවකි.එහෙත් එම සේවාවට අවශ්‍ය වටිනාකම ඔවුන්ට ලැබෙනවා ද යන්න වෙනම සිතා බැලිය යුත්තකි.වනසතුන් හා වනය වෙනුවෙන් කැපව තිබෙන ඔවුන්ගේ ජීවිතවල සිය පෞද්ගලික අරමුණු වැටි තිබෙන්නේ දෙවැනි තැනකට බව මම හොදින් දනිමි.නොගැලපෙන මාසික වේතනයකට ඔවුන් සේවය කරන බව ද රහසක් නොවේ.එලෙසම නිසි ඇගයිම් හා උසස්වීම් ද ඔවුනට සිහිනයකි.ඒ කිසිවක් නිසි ලෙස නොලබාම ඔව්හු සේවය කරති.නිකන්ම නොව ඒ සිය ජීවිත පරිත්‍යාගයෙනි.

ඔවුන් ඇත්තටම පිළිම නෙලා නැති විරුවන් පිරිසකි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් රාජකාරි කටයුතුවල දී ජීවිත පරිත්‍යාග කළ සංඛ්‍යාව අසු පස් දෙනෙකි.

ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් 37 දෙනෙකු ද වන සකුන් පහරදීමෙන් 26 දෙනෙකු ද වන අපරාධකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් 15 දෙනෙක් ද හදිසි අනතුරු හරහා 04 දෙනෙකු ද අත් වැරදීමෙන් සිය රාජකාරි ගිනි අවිය පත්තු වීමෙන් දෙදෙනෙකු හා අසු අට අසුනවය භීෂණ කාලයේ දී එක් අයෙකු වශයෙන් ද මෙලෙස ජීවිත අහිමිව ගොස් ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එලෙස දිවි පරදුවට තබා සේවය කළ සංඛ්‍යාව දස දෙනෙකි.ඔවුන් සියල්ලෝම අප වෙනුවෙන් පරිසරය රැකිමට ගිය ඇත්තෝ ය.නැතිනම් අපේ හුස්ම පොද සුරැකිමට ගොස් තම හුස්ම පොද වාතලයට මුසු කළ සැබැ විරුවන් ය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරිය අතර තුර මියගිය පළමු සේවකයාවන්නේ වන සත්ත්ව මුරකරුවකු වූ කේ. මැණික්රාල නම් අයෙකි.වළසෙකුගේ ප්‍රහාරයකට හසුව ඔහු මිය ගොස් ඇති අතර ඒ 1957.07.04 දින විල්පත්තු වනෝද්‍යානයේ දී ය.මැණික්රාළ උරණීය නමින් අද හඳුන්වන්නේ එම ප්‍රහාර සිදු වු ස්ථානයයි.

ඊට පසු මියගිය පිරිස අතර අප කල්‍යාණ මිත්‍රයන් ද කිහිපදෙනෙකි.යාල වැටලීම් ප්‍රධානි වනසත්ත්ව අඩවි ආරක්ෂක එච්.කේ.සී කුමාරසිංහ මහතා (2003.01.28 දින ගංජා හේනක් වැටලීමේ දී ඔත්තුකරුවෙකු ලෙස වෙස් වලා ගෙන සිටි අයෙකු විසින් වෙඩි තබන ලදී.),විල්පත්තු උද්‍යාන භාරකාර වසන්ත පුෂ්පානන්ද මහතා (2007 මාර්තු මස 07 දින කොටි ත්‍රස්ත ප්‍රහාරයකට නතු විය.),පී. එම්. ඒ. ඩී. වෙන්දකඩුව මහතා (2020.06.30 දින තඹුත්තේගම දී වන අලියකු පහරදීමෙන්) ඒ අතරින් කැපි පෙනේ.

දිවි පරදුවට තැබුව ද ඔවුන්ට හිමි විය යුතු මාණ්ඩලික තනතුරක ස්වභාවයවත් තවමත් ලබා දීමට වනජීවී හා වනසංරක්ෂණ ඉහළ පුටු දරන අයට අමතක වීම කනගාටුවකි.තවමත් ඔවුන්ගේ නොවිසිඳුණු ප්‍රශ්න දහසකි.ඒවා හිස මත දරාගෙනම ඔව්හු අපහසුවෙන්ම සේවය කරති.

එලෙසම ඔවුන්ට නිසි ලෙස රාජකාරි කිරීමට අවශ්‍ය තරම් නිලධාරි ප්‍රමාණයක් ද දක්නට නැත.අවශ්‍ය කරන නිසි පුහුණුව ද ලැබෙන්නේ ඉතාම සිමිතව ය.රාජකාරිය නිසි ලෙස කිරීමට අවශ්‍ය කරන භෞතික සම්පත් ඇත්තේම නැත.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් නිලධාරි හිඟය 44%කි.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වර්තමානය වනවිට අඩවි ආරක්ෂක,අඩවි සහකාර හා වනජීවී නියාමක යන නිල තුන සඳහා අනුමත සේවක සංඛ්‍යාව 1591කි.එහෙත් දැනට ඉන් සේවය සැලසීමට අනුයුක්තව ඉන්නේ සේවකයින් 894 දෙනෙකු පමණී.ඒ අනුව හිඟ සේවක සංඛ්‍යාව 697කි.ඉන් මෙහි බැරැරුම් කම තේරුම් ගත හැකි ය.එහෙත් හිටපු සහ සිටින පාලකයන්ට මේවා වගේ වගක් නැත.

මේ සියළු බාධක හා හිත් රිදවීම් මැද වුව ද දිවි පරදුවට තබා සේවය කරන ඔවුන්ට වනසතුන් වෙනුවෙන් හිස නමා ආචාර කරමි….

#වෙනස්_පුද්ගලයෙක්_වෙනස්_කතාවක්…

LLLF Media Team

නයනක රන්වැල්ල