උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ෂේශාදි මෙනෙවිය
අධ්‍යන කටයුත්තක් සඳහා වවුලන්ට GPS කරපටි පළඳන බවට ඇමතුමක් ලැබුණේ පසුගිය සතියේ දිනෙක උදෑසන දහයට පමණය. ඇමතුමේ එහා පස සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය තාරක කුසුමින්දය. පසුගිය කාලය පුරා ලංකාවේ තැනින් තැනට ගොස් වවුලන් අල්ලා GPS කරපටි පලඳා දත්ත රැස් කිරීමට මේ පිරිස එක්ව තිබුණේ අධ්‍යයන කටයුත්තක් සඳහාය. ඒ ගැන ලිපියක් සකසන්නට අපි ගිවිස ගත්තේ කොළඹදී වවුලන්ට “කරපටි පලඳන” දිනයක් එන තෙක් එය කල් දමමිනි. දුරකථනයෙන් සිදු වූ වචන හුවමාරුවේදී ගිවිස ගත් අයුරින් දහවල් දෙක පමණ වන විට කොළඹ විහාරමහා දේවි උද්‍යානයට ගියේ වවුලන් අල්ලනවා බලන්නටය.

“එක වවුලෙක්වත් නෑ. උන් කොහේ ගිහින්ද මන්දා…” අප දුටු විගස ආචාර්ය තාරක ඉදිරියට පැමිණියේ එසේ කියා ගෙනය.
“වෙනදට මේකේ වවුල්ලු ඉන්නවා නේ? ඔයාලා එනවා කියලා දැනගෙනද කොහෙද උන් ගෙවල් දොරවල් අත ඇරලා ගියාද දන්නෙත් නෑ.” අපේ ඡායාරූප ශිල්පියා කතාවට එක් වූයේ විහිළුවක්ද කරමිනි.
” චාමර ගියා මේකේ වැඩ කරන කීප දෙනෙක්ගෙන් අහලා එන්න. බලමු” තාරක එසේ පැවැසුවේ ඒ වන විටත් අප සිටි දෙසට පැමිණෙමින් සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය විපුල යාපා හා මහාචාර්ය ඉනෝක පෙරේරා වෙත අවධානය යොමු කරමිනි.
“අපි හිතුවේ වැඩ පටන් අරන් ඇති කියලා.” මහාචාර්ය විපුල විමසුවේ විවර කරන්නටවත් අදහසක් නොමැතිව ඒ වන විටත් ගොඩගසා තිබූ කළමනා හා උපකරණ බහාලුම් දෙස බලමිනි.
ඒ අතරේ චාමර පැමිණියේ බලාපොරොත්තු කඩ වූ විලසිනි.
” මාසෙක විතර ඉදලා මෙහෙ හිටපු වවුල්ලුන්ව දැකලා නැහැ සර්. මන් වැඩ කරන කීප දෙනෙක්ගෙන්ම ඇහුවා.”
චාමර අමරසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකි. ඔහුගේ ආචාර්ය උපාධි පර්යේෂණය වෙනුවෙන් ඔහු මේ අධ්‍යනය හා එක්ව සිටියි.
“අපි මරදාන පැත්තෙවත් බලමුද?” ආචාර්ය තාරක පසෙක ගොඩ ගසා තිබූ බහාලුම් දෑතට ගත්තේ එසේ පවසමිනි.
මරදානේ වවුලන් සිටින බවට මින් පෙර හඳුනා ගෙන තිබූ ගස් කිහිපයකම බැලුවද එකදු වවුලෙක් හෝ එම ගස්වල සොයා ගැනීමට හැකි වූයේ නැත. එනිසාම දෙතුන් දෙනා බැගින් කණ්ඩායම් දෙකකට බෙදී වෙන් වූයේ වවුල් වවුලන් සිටින තැනක් සොයා යන්නටය.
“චාමරට වවුලො ඉන්න ගහක් හම්බ වෙලා. අපි ඒ පැත්තට යමු.” බොහෝ වෙලාවකට පසු ආචාර්ය තාරක පැවැසුවේ වවුලන් සොයා හෙම්බත්ව තැනින් තැනට ගොස් ඒ වෙලෙහි ඇද හැලුණු මහා වැස්සෙන් බේරෙන්නට පිටකොටුවේ පාවෙන වෙළෙඳසලක සෙවණෙහි සිටියදීය.
“මෙතැන නම් දෙතුන් සීයක් විතර ඉන්නවා වගේ.” අප එහි යන විටත් මහාචාර්ය ඉනෝක හා විපුල ඒ අවට වටපිටාව නිරීක්ෂණය කරමින් සිටියහ.
“රේල් පාරට ළඟ හින්දා හොඳ කල්පනාවෙන් ඉන්න වෙයි.” මහාචාර්ය විපුල අපි එහි යන්නටත් පෙර අනතුරු ඇඟවීය.
මේ ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ 2017 වසරේදීය. වවුලන්ගේ ශරීර ගත වයිරස පිළිබඳ අධ්‍යයනයක් ඒ වකවානුව වන විට මෙරට සිදු වී තිබුණේ නැත. එනිසාම ජර්මනියේ රොබට් කොක් ආයතනය හා එක්ව වවුලන්ගෙන් පැතිරෙන, මිනිසුන්ට ආසාදනය විය හැකි වයිරස හා ඉන් වැලඳෙන රෝග ගැන අධ්‍යයනයක් කිරීම මෙහි මුලාරම්භක ව්‍යාපෘතියේ මූලිකම අරමුණ විය. එය ක්‍රමයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න අර්බුද පිළිබඳ සොයා බැලෙන පර්යේෂණයක් බවට පත්ව තිබිණි. කොළඹ විශ්වවිද්‍යාලයේ IDEA නමින් පර්යේෂණාගාරයක් ඉදිවන්නේ මේ වෙනුවෙන් ඉඩක් වෙන් කිරීම සදහාය.

මෙම පර්යේෂණයේ දෙවන අදියර IDEAnet ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන්නකි. කොළඹ විශ්වවිද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය අතර සහයෝගිතාවකි. මෙහිදී අවධානය යොමු කෙරෙනුයේ මෙරට වනජීවීන් තුළ ඇති වයිරස්, උන්ගෙන් බෝ විය හැකි රෝග සහ රෝගීන්ගෙන් මතුවන ආගන්තුක රෝග ලක්ෂණ තුළින් මින් පෙර හඳුනා නොගත් රෝග හඳුනා ගැනීම කෙරෙහිය. මෙම පුළුල් ව්‍යාපෘතියේ එක පර්යේෂණයක් වන මා වවුලන් පිළිබද පර්යේෂණයට ජර්මනියේ රොබට් කොක් ආයතනයේ වෛරස් පිළිබඳ විද්‍යාඥයින් වන මහාචාර්ය ඇන්ඩ්‍රියාස් නිට්ෂේ, ආචාර්ය ක්ලෝඩියා කෝල්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉනෝක පෙරේරා, මහාචාර්ය සුනිල් ප්‍රේමවංශ, විශ්‍රාමික මහාචාර්ය විපුල යාපා, ආචාර්ය තාරක කුසුමින්ද, ආචාර්ය සුජාන්ති මයුරන් හා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මහාචාර්ය සමින්ද ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටිති.
“වවුලන්ගෙන් මිනිසුන්ට ප්‍රචාරණය වෙන්න පුළුවන් වයිරස් රෝග බැක්ටීරියා රෝග ගැන අපි අධ්‍යයනය කරනවා. මේ පර්යේෂණය අතරතුර අවුරුද්දකට විතර කලින් හොයා ගත්තා ඉන්දියාවේ වවුලන්ගෙන් හමු වූ ‘නීපා’ කියන වයිරස ලංකාවේ වවුලන්ගේත් තියෙනවා කියලා. ඒක ඉතාමත් අඩු ප්‍රවණතාවකින් තමා පවතින්නේ. තවමත් මේ වයිරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වෙලා නැහැ. ඒත් ලංකාවේ වවුලන් තුළත් මේ වයිරසය තියෙනවා කියලා හොයා ගත්තා. ලෝකේ පුරාම වවුලන්ගෙන් බෝ වෙන හෙන්ද්‍රා, ඉබෝලා, සාර්ස්” වගේ වයිරස් රෝග ගණනාවක් තියෙනවා. අපි වගේ අධික ජෛව විවිධත්වයක් සහිත රටවල්වලට මේ වගේ රෝග ව්‍යාප්ත වෙන්න විශාල අවස්ථාවක් තියෙනවා.” කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ඉනෝක පෙරේරා කතා බහට එක් වූයේ ආචාර්ය තාරක හා චාමර වවුලන් අල්ලන්ට දැල සූදානම් කරන අතරේය.
තරමක බරැති ලෝහ කොටසක ඇමිණු තංගුස් පොටක් ආචාර්ය තාරකගේ අතෙහි විය. චාමර තංගුස් රෝලෙහි පැටලුම් ලිහා දමයි.
“හරිද?” ආචාර්ය තාරක විමසයි.

“ඔව්. ඔව්. අර අතු දෙකට දා ගත්තා නම් හරි.”
“මෙයාට හොඳට හොරෙන් අඹ කඩලා පුරුද්දක් තියේ. ඉලක්කේ වරදිනවා හරි අඩුයි.” එහි සිටි අය වැඩ අස්සෙත් සිනා සෙන්නට හේතු හොයයි.
කෙසේ හෝ පළමු ඉලක්කයෙන්ම තංගුස් පොට විශාල අත්තක පටලවන්නට ආචාර්ය තාරක සමත් විය. අනෙක් පස අත්තෙත් තංගුස් පොට රඳවා ගෙන ඒ දෙක මැදි වන සේ දැල රඳවා එය සීරුවට ඉහළට එසවිණි. තංගුස් පොටවල් ආධාරයෙන් ඉහළට එසවූ දැල උන්ට බාධකයක් සේය. එහි වවුලෙක් පැටලෙන තුරු සියල්ලෝම බලා සිටියහ.
මේ පර්යේෂණයට බඳුන්ව ඇත්තේ ලංකාවේ ජීවත්වෙන විශාලම මා වවුලන් විශේෂය වන විද්‍යාත්මකව Pteropus medius හඳුන්වන වවුලන්ය. උන් ලංකාවේදී බහුලව හමු වේ. එහෙත් උන් ගැන තවමත් අනාවරණය වී ඇත්තේ තොරතුරු අල්ප ප්‍රමාණයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය විපුල යාපා පැවැසීය.
“අනිත් වවුලන්ට සාපේක්ෂව මෙම වවුලා ගැන අපි දන්නා කරුණු අල්පයි. මේ විශේෂය ගැන එතරම්ම පර්යේෂණ සිදු වෙලාම නැහැ. අනිත් කාරණය තමයි මේ මා වවුලන් විශේෂය හුඟක් දුර පියාඹන්න පුළුවන් විශේෂයක්. සාමාන්‍යයෙන් කිලෝමීටර් පනහක් හැටක් වගේ දුරක් එක දවසට පියාඹන්න පුළුවන්. ඒ නිසා අපිට මේ සතාගේ පියාසැරිය පිළිබඳ පරිසර විද්‍යාත්මකව හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්. අපි ඒ සඳහා විශේෂ GPS ටැග් එකක් භාවිත කරනවා. චන්ද්‍රිකා දත්ත මඟින් මේ ටැග් එක හයි කරන වවුලා පියාසර කරන කොට ඒ ගමන් ගන්නා මාර්ගය, නතර වෙන තැන් ආදිය ගැන නිවැරැදි විස්තර ලබා ගන්න පුළුවන්”
මේ ව්‍යාපෘතිය ආරම්භ වී වසරක් පමණ ගත වී ඇත. එය සැලකෙනුයේ GPS කරපටි භාවිතයෙන් වවුලන් පිළිබඳ අධ්‍යයනය කරන පළමු ව්‍යාපෘතිය ලෙසය.
“මේ වෙද්දී වවුල්ලු කී දෙනකුට GPS කරපටි දාලා තියෙනවද?” අප විමසද්දී එයට පිළිතුරු දුන්නේ මහාචාර්ය විපුලය.
” දැනට ලංකාවේ ප්‍රදේශ හතක වවුල්ලු දහ හතරකට විතර GPS කරපටි දාලා තියෙනවා. කොළඹ, බදුල්ල, හම්බන්තොට, තලෙයිමන්නාරම, ඩෙල්ෆ් දුපත, තලවකැලේ සහ ත්‍රිකුණාමලය වගේ තැන්වලින් වවුල්ලු අල්ලලා කරපටි දැම්මා. ඒ හැම වවුලෙක්ම දවස ගාණේ කොච්චර දුර යනවද, කොහෙද ඉන්නේ වගේ හැම විස්තරයක්ම අපිට ලැබෙනවා.”
“පියාසැරි තොරතුරු විතරද හොයන්නේ?” පැටලුම් එකින් එක ලිහා ගන්නට නම් බොහෝ දෑ විමසිය යුතුව ඇතැයි සිතේ.
මෙවර පිළිතුරු දුන්නේ මහාචාර්ය ඉනෝක ය.
“මේ සත්තුන්ගේ හැසිරීම් රටාව කොහොමද කියන එක ගැනත් අපි බලනවා. වවුල්ලු එකට ඉන්න ගස් කීපයකට අපි කියන්නේ ‘කොලනි’ එකක් කියලා. ඒ සතා එකම කොලනියකද ඉන්නේ එහෙම නැත්නම් කොලනි මාරු කරනවද කියලා අපි හොයනවා. කොළඹ ගත්තාම විහාරමහාදේවි උද්‍යානය, මරදාන, නාවල වගේ ගොඩක් තැන්වල වවුල් ජනපද තියෙනවා. උන් ඒවා අතර එකිනෙක ගමන් කරනවද, එහෙම නැත්නම් එකම තැන ඉන්නවද කියන දත්ත කිසිවක් අපි ළඟ නැහැ. මේ පර්යේෂණයේ ප්‍රධාන අරමුණක් තමයි GPS තාක්ෂණය මඟින් මේ සතාගේ පියාසැරිය පිළිබඳ නිවැරැදි දත්ත ලබා ගැනීම.

මේ වවුල් විශේෂය විතරක් නෙවේ. ලංකාවේ තව වවුල් විශේෂ තිස් එකක් විතර ඉන්නවා. ඒ විශේෂ බොහොමයක ජෛව සාම්පල් අරගෙන ඒවා පරීක්ෂා කරනවා. මේ දැන් අපි අල්ලන මා වවුලා, ලංකාවේ ඉන්න අනෙකුත් වවුල් විශේෂවලට සාපේක්ෂව ඉතාමත් ලොකු දුරක සැරිසරන නිසා යම් විදියකට මේ වවුලගේ මොනවා හරි වයිරස තියෙනවා නම් ඒවා පැතිරීමට හැකි අවදානම ඉතා වැඩියි. ඒ ගැනත් අපි හොයනවා.”
“ඒ කාලේ අපි ඔය ගුහාවල ඉන්න වවුලන් ගැන වගේම අනිත් සතුන් ගැනත් අධ්‍යයන කර කර හිටියා. ඊට පස්සේ ඉතින් කොවිඩ් වසංගතේ ආවා. ඒ සමඟම වගේ වවුලෝ ගැන වෙනදට වඩා වැඩියෙන් අධ්‍යයන කරන්න ලෝකය පෙළඹුණා.”
මහාචාර්ය ඉනෝකගේත් මගේත් කතා බහ අතරතුර චාමර, ආචාර්ය තාරක හා එක්ව වවුලෙකු අල්ලා ගැනීම සඳහා දැල ඉහළට ඔසවමින් ස්ථාන ගත කරයි. එක තංගුස් පටක් ආචාර්ය තාරක අතේය. අනෙක මහාචාර්ය විපුල අතය. ඒ අතරේ චාමර විසින් දැල නිසිලෙස ස්ථානගත වන්නේද කියා පරික්ෂා කරයි.
දුම්රිය මඟ එක් පසෙකය. එහි නැවතීමක් නොමැතිවම එක දිගට දුම්රිය එහා මෙහා ගමන් ගන්නේ ඒ කාර්යාල වෙලාවක් වූ නිසාය. ඉන් ඉහාට ඇත්තේ බේරේ වැවෙහි කොටසකි. මේ වවුල් ජනපදය පිහිටා ඇත්තේ ඒ දෙක අතර ඇති ඉඩෙහි විසල් නුග ගසෙකය. අප සිටියේ දුම්රිය මඟත් කුඩා කැලෑ කොටසත් අතර ඉඩෙහිය. විවිධ හේතු නිසා වවුලන් කලබල වී අවට මද වෙලාවක් පියබා නැවත වසා සිටි ගස් වෙත පැමිණේ. එසේ යන එකා දෙන්නා ඈතින් පියඹා විත් දැල මඟ හැර අතු මත ලඟින්නට වූහ.
“උන්ට දැල පේනවද?” අසල හුන් ආචාර්ය තාරකගෙන් විමසුවේ යම් සැකයකිනි.
” යන්තම් පෙන්වා ඇති කියල තමා අපි හිතන්නේ. මොකද මෙයාල ඇස් පෙනීමෙන් තමා දවල්ටයි රෑටයි පියාඔන්නේ” දෑත් ඉණ බැඳගෙනම ඔහු පවසන්නේ ඈත අහස දෙසද බලමිනි.
“හෝ… හෝ… පැටලෙන්න නම් එපා.” එකවරම මහාචාර්ය ඉනෝකගේ හඬින් අපේ කතා බහට බාධා විය.
වවුලෙක් දැලෙහි පටලවා ගන්න දැඟලූ ඔහුගේ මනස එකවර වෙනස් වූ සෙයකි.
“එයා බඩේ පැටියෙක් බැඳගෙන යන අම්මා කෙනෙක්.” මගේ විමසිලිමත් මුහුණ දෙස බැලූ ඔහු පැවැසුවේ පැනයක් නඟන්නටත් පෙරය.
“අර පැටව් ඉන්නවා දැක්කද? අයිනේ අතුවල පැටව් වැඩිපුර ඉන්නවා වගේ. වවුල් පැටව් ඉපදිලා ටික කාලයක් යනකන් අම්මලා පියඹන්නේ උන්ව බඩේ බැඳගෙන. අර පොදියක් වගේ පේන්නේ බඩේ එල්ලිලා ඉන්න වවුල් පැටියා. මාර්තු අප්‍රේල් වෙද්දී පැටව් බිහි වෙනවා. ජූලි – අගෝස්තු විතර වෙද්දී එයාලව නිදහස් කරන්න පුළුවන් තරමට උන් ලොකු වෙනවා.” අහස දෙසට අත් දිගු කරමින් ඔහු පවසයි. ඒ දෙස බැලූ විට දිස් වූයේ සිය මව දෙඅතින් බදා ගත් කුඩා වවුල් පැටියකු දරා ගත් වවුල් අම්මා කෙනෙකි.
මේ කතාවල්ම අතරේ මඟ වැරදුණු වවුලෙක් පැමිණ දැලෙහි පැටලුණේ පැය ගණනක මහන්සියක ප්‍රතිඵලයක් ලෙසය.
“ඇති යන්තම් එකෙක් හරි පැටලුණා.” වවුලකු පැටලෙන තුරු රේල් පාර අයිනෙහි ලී කොටයක් මත වාඩි වී බලා සිටි මහාචාර්ය විපුල නැඟී සිටියේ සිනහවක්ද සමඟමය. ඒ සමඟම ඔහු පසෙක තිබූ විසල් අත් ආවරණ යුගලක් පැලඳ ගත්තේ වවුලා පරිස්සමෙන් අල්ලා ගන්නටය.
“මෙහෙම හිටියට මුන් හපනවා” ඔහු මදෙස බලා සිනා සෙයි.
තංගුස් නූල් පොටවල් සීරු මාරු කරමින් වවුලා බිමට ගත්තේ උගේ කලබලයට තව තවත් ඌ දැලට පැටලෙන අතරතුරය.
“අපි මේ මා වවුලෝ අල්ලලා එයාලගේ ඇඟ ඇතුළේ වයිරස් මොනවද තියෙන්නේ, ඒවා එයාල එළියට දන්නේ මොන හේතු නිසාද කියලා හොයලා බැලුවා. වවුලෝ ආතතියට පත් වුණාට පස්සේ එයාලගේ ඇඟ ඇතුළේ තියන වයිරස් මුදා හැරෙනවා කියලා ලෝකයේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වෙනවා.” මම යළිත් මහාචාර්ය ඉනෝක සමඟ කතාබහ ඇරඹීය.
“වවුල්ලු කොහොමද ආතතියට පත් වෙන්නේ?” යළිත් පැනයකි.
“වෙන රටවල නම් මේ වගේ පර්යේෂණ ගොඩක් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාව වගේ කාලෙන් කාලෙට උෂ්ණත්වය වෙනස් වෙන රටවල වගේ නම් ඒ වෙනස එක්ක ආහාර හිඟවීම වගේ කාරණා නිසා වවුලන් ආතතියට පත් වෙනවා. ඒත් ලංකාව වගේ රටක් ගත්තාම එහෙම උෂ්ණත්වයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැනේ. අපි දැක්ක දෙයක් තමා ගැහැනු සත්තුන්ට පැටව් ලැබෙන කාලයට උන් ආතතියට පත් වෙලා ඇඟ ඇතුළේ තියන වයිරසය එළියට එනවා. ඒත් බාහිර පරිසර සාධක නිසා අපේ රටේ වවුල්ලු ඒ තරම් දුරට ආතතියට පත් වෙන්නේ නැහැ. වෙන රටවලින් වාර්තා වෙනවා වගේම අපේ රටේ වවුලන්ගේ ඇඟ ඇතුළෙත් වයිරස විශාල ප්‍රමාණයක් තියෙනවා.” ඔහු පැහැදිලි කරයි.
“එතකොට ඒවා එළියට එන්න ඉඩ තියනවා නේද? අර ඉන්දියාවේ වගේ. කොවිඩ් වයිරස් ආවෙත් වවුලන්ගෙන් නේ ” මා යළිත් විමසීමි.
“අපේ රටේ ඒ ඉඩ හරිම අවමයි. මොකද අපේ වවුල්ලු තවමත් ස්වාභාවික පරිසරයත් එක්කයි ඉන්නේ. කොළඹ ගත්තත් අහසේ ඉඳන් බැලුවාම තවමත් කොළඹ කොළ පාටයිනේ. තවමත් තැනින් තැන උන්ට සුදුසු ගස් ඉතිරි වෙලා තියෙනවා. ඒ පරිසර තත්ත්ව එක්ක උන් ආතතියට පත් වෙලා වයිරස් මුදා හැරෙන්න අවස්ථාවක් නැතුව ඇති කියලා හිතනවා.
කාලයකට කලින් අපේ ශිෂ්‍යයකු වූ සහන් සිරිවර්ධන, දැන් ඔහු ආචාර්ය සහන සිරිවර්ධන, කොළඹ ආශ්‍රිතව මේ ගැන පරීක්ෂණ කළා. ආතතිය මත වවුලන්ගේ ඇඟ ඇතුළේ තියෙන වයිරස් පිටතට මුදා හරිනවද කියලා තමයි ඔහු පර්යේෂණ කළේ. ඒ පර්යේෂණය අතරතුර තමයි අපි ‘නීපා’ කියන වයිරසය ලංකාවේ වවුල්ලුන්ගේ ඇඟ ඇතුළේ තියෙනවා කියලා හොයා ගත්තේ.

නීපා වයිරසය දැනට ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඉන්දියාවේ කේරළයේ තියෙන “නීපා” වයිරස් ප්‍රභේදයම තමයි අපේ රටේ වවුලන්ගේ ඇඟෙන් හමු වුණේ. ඒත් වවුලන්ගෙන් අපේ රටේ මිනිස්සුන්ට මේවා ආසාදනය වන බවට තවමත් සාක්ෂි නෑ. නීපා වයිරසය හඳුනා ගැනීමේ පර්යේෂණ පවා කොළඹ විශ්වවිද්‍යාලය තුළ පටන් ගත්තේ ඒ හින්දම තමා. බැරි වෙලාවත් හදිස්සියේ හරි මේ වගේ ආසාදනයක් සහිත රෝගියෙක් දැක්කොත් හඳුනා ගන්න පුළුවන්.” ඔහුගේ පැහැදිලි කිරීම් මැද තව තවත් ගැටලු මතුවන අයුරකි.
“ඉන්දියාවේ ඉන්න වවුලන්ගේ වයිරස ප්‍රභේද ලංකාවේ වවුලන්ගේ තියෙන්නේ කොහොමද? උන් රටවල් අතර එහා මෙහා යනවා වත්ද?”
“මේ පර්යේෂණය කරන්නේ ඒ ගැන හොයන්න තමයි. අපි මේ අල්ලන වවුලන්ට GPS කරපටි දාලා උන් කොහෙද යන්නේ කියලා බලනවා. අපි දැක්ක දෙයක් තමයි මේ ගොල්ලෝ හිතනවට වඩා දුරක් යනවා ලංකාව වටේම. මන්නාරමේ, ත්‍රිකුණාමලයේ GPS කරපටි සවි කරපු වවුල්ලු රට අභ්‍යන්තරයට පවා එනවා කියලා අපි දකිනවා. ඒක අපි කලින් නොදැන හිටි දෙයක්. මේ අය ලොකු ව්‍යප්තියක ඉන්නවා. අපි කලින් හිතන් හිටියේ ළඟ ළඟ තියෙන කොලනිවල ඉඳලා පොඩි දුරක් පියඹනවා කියලා. ඒත් ඒක එහෙම නෙවේ. මේ අය කොලනි අතර මාරු වෙනවා වගේම කොලනියත් තැනින් තැනට මාරු කරනවා. මේ දවස්වල විහාරමහාදේවි උද්‍යානයේ එක කොලනියක්වත් නැහැ. ඒත් මෙතැන සෑහෙන්න වවුල්ලු ගහනයක් ඉන්නවා. “
කෙසේ හෝ වැර යොදා වවුලන් දෙදෙනෙක් දැලෙහි පටලවා ගන්නට පිරිස සමත්ව තිබිණි. ඉතිරිව ඇත්තේ උන්ගේ ශරීර ස්කන්ධ මැන බලා ජෛව සාම්පල ලබා ගැනීමය. චාමර යුහුසුලුව ඒ සඳහා සුදානම් වෙයි.
“මූ නම් බුලත් කන එකෙක්ද කොහෙද? බලන්නකෝ දත්වල පාට.” ආචාර්ය තාරක පැවැසුවේ අල්ලාගෙන සිටි තරුණ වියේ වවුල් කෙල්ල අප සිටින දෙසට හරවමිනි.
“හොඳට ගස්වල පොතු කාලා වගේ” විශ්‍රාමික මහාචාර්ය විපුල පවසයි. ඒ අතරේ සීරුවට උගේ අත්තටු දිග හරිමින් ඒවා මැන බලයි. ජෛව සාම්පල ලබා ගනියි. අවසානයේදී උගේ ගෙලෙහි GPS කරපටිය පළඳා එය ගලවා ගත හැකිදැයි පරික්ෂා කරයි.දැන් ඇත්තේ උගේ ලෝකයට ඌ මුදා හැරීමය.
” ඔන්න බලන්න. අර අත්තේ වහලා ඌ බෙල්ලේ බැඳලා තියෙන එක ගැන හොයන විදිය” විශ්‍රාමික මහාචාර්ය විපුල පැවැසුවේ නිදහස ලද වවුල් කෙල්ල ඒ අසලම අත්තක එල්ලුණු විගසය.
උන් දෙදෙනා යළි කොලනිය වෙත පියඹා ගියහ. එහෙත් සූර්ය බලයෙන් පණ ගැන්වෙන GPS කරපට උගේ ගෙලෙහි සුරක්ෂිතව ඇති තාක් ඌ පියාසැරි තොරතුරු නිරන්තරයෙන්ම යාවත්කාලීන වනු ඇත. එය හෙට දවසේ ලොවට යහපත් වූ පර්යේෂණයක ප්‍රතිඵලයක දත්ත සේ එළි දැක්වෙනු නිසැකය.