උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ෂේශාදි මෙනෙවිය
අතීතයේ ප්‍රභූ නිවෙස්වල බොහෝ විට ගෝන අං තට්ටුවක් හෝ මුව අං තට්ටුවක් එල්ලා තිබිණි. ඇතැම් පැරැණි තාලයේ නිවෙස් හෝ පාරම්පරික මහ ගෙවල්වල ඒවා අදටද දැකිය හැකිය. අං තට්ටුවක් නැතත් සත්ව සමක් හෝ ප්‍රදර්ශනය කොට පැවැති බව සඳහන්ය. මරා දැමූ සතුන්ගේ ශරීර කොටස් බොහෝ කාලයක් දිරාපත් නොවී තබා ගැනීමට පැරැන්නෝ උත්සුකව තිබූ නිශ්චිත හේතුවක් පැවසිය නොහැකි නමුත් අදටත් ඒ ආදි මුතුන් මිත්තන්ගේ පුරුද්ද නොවෙනස්ව පවත්වාගෙන යන පිරිසක්ද සමාජයේ හමුවේ. මුව අං, ගෝන අං, ඇත් දළ, කොටි දත්, නිය, සත්ත්ව සම් ආදියෙන් ඔබ්බට ගොස් ඇතැම් විට සත්ත්ව විශේෂ පවා සංරක්ෂණය කොට සැමරුම් භාණ්ඩ ලෙස ළඟ තබා ගන්නා බවට තොරතුරු වාර්තා වේ.
මේ සතුන් අතර ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ද වෙති. වන ජීවී පනත්, ආචාරය ධාර්මික වත් පිළිවෙත් උල්ලංඝනයය කරමින් රහසිගතව ළඟ තබා ගෙන සිටින සංරක්ෂිත සත්ත්ව විශේෂ අතරට වවුලන් එක්ව ඇත්තේ ඉතාම මෑතකදීය. නොතිත් ආශාවෙන් පෙළෙන හයිකාරයන්ගේ හෝ විවිධ පැළැන්ති නියෝජනය කරන පිරිසගේ මනදොළ පිනවීමට යැයි කියමින් මරා දැමෙන සතුන් ගොන්නට වවුලාද අද වන විට එක්ව ඇත්තේ වන ජීවී ජාවාරමේ උන්ට ඉහළ ඉල්ලුමක්ද ඇති කරමිනි. වවුලන්ගෙන් සැකසූ සමරු සිහිවටන පිළිබඳව මින් පෙර තොරතුරු වාර්තා නොවුණද අද වන විට මේවා අලෙවි වනුයේ ඇමරිකානු ඩොලර් සිය දහස් ගණනිනි. වනජීවී ජාවාරම විවිධ ස්වරූප ගෙන ඇති බව නොරහසකි.

සජීවී වන සතුන් මෙන්ම අජීවී සතුන්ද ඇත්දළ, හම්, නියපොතු, දත්, ශාක හා එහි කොටස් ආදිය නීති විරෝධීව හා සංවිධානාත්මක ලෙස මේ ජාවාරම තුළ ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරේ. ඇතැම් රටවල පවතින නීති ක්‍රියාත්මක වීමේදී ඒවායේ ඇති හිඩැස් හා වනජීවී ජාවාරම්කරුවන් ඒවා ඉතා සූක්ෂ්ම අයුරින් උපයෝගි කොට ගැනීම හේතුවෙන් මේ වන විට ලෝකයෙන් වඳ වී යෑමට ආසන්න, එසේම වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සතුන් ඇතුළු සමස්ත වන ජීවීන් හා ශාක විශේෂ අවදානමට ලක්ව ඇත්තේය.
මෙලොව වෙසෙන ක්ෂීරපායී සත්ත්ව විශේෂ අතර සුවිශේෂී සත්ත්ව විශේෂයක් වූ වවුලන්ද අද වන විට, මේ වනජීවී ජාවාරමේ කොටසක් බවට පත්ව ඇත. ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) දත්තවලට අනුව ලොව වෙසෙන වවුල් විශේෂ අතරින් තුනෙන් එකක්ම වඳ වීමේ තර්ජනයට ලක්ව ඇත. එසේත් නොමැති නම් එම විශේෂ පිළිබඳ දත්ත සහ තොරතුරු වාර්තා නොවීම හේතුවෙන් උන්ගේ ගහනයට ඇති අවදානම ගැන නිශ්චිත අවබෝධයක් නැත.
සිදු කළ අධ්‍යයනවලදී සහ පර්යේෂණවලදී අනාවරණය වූ කරුණු මත 2100 වසර වන විට අග්නිදිග ආසියානු කලාපයේ වෙසෙන වවුල් විශේෂවලින් සියයට 23%ක් ලෝකයට අහිමි වීමේ අවදානමක් ඇති බවට විද්‍යාඥයෝ පුරෝකථනය කරති.
ගෝලීය උණුසුම ඉහළ යෑම, ස්වාභාවික විපත්, වනාන්තර අහිමි වීම ඇතුළු මිනිසාගේ මැදිහත් වීම හා බලපෑම මත සිදු කෙරෙන පාරිසරික විනාශ හේතුවෙන් වවුලන් ඇතුළු සත්ත්ව විශේෂ බොහොමයක ඉරණම ඛේදනීය තැනකට ඇද දමා තිබේ. ඒ අතර වේළන ලද සම්පූර්ණ වවුලන් හෝ උන්ගේ ශරීර කොටස් මේස සැරසිලි, බිත්ති සැරසිලි එසේත් නොමැති නම් වීදුරු රාමු තුළ තැන්පත් කළ සැරසිලි ලෙස අලෙවි කිරීමේ ව්‍යාපාරය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ උන්ගේ ඉරණම තවදුරටත් අවදානමට ඇද දමමිනි. මේ වවුල් විශේෂ අතර ලෝක සංරක්ෂණ සංගමය (IUCN) ප්‍රකාශයට පත් කරන “ලෝක රතු දත්ත ලේඛනයෙහි” තර්ජනයට ලක්වූ ලැයිස්තුවේ සිටින සතුන් පවා දැකිය හැකිය. මේ කිසිවක් පවතින නීති රාමු අතර නීතිගත දේවල් නොවන නිසාම ඒවා සිදුවනුයේද හොර රහසේය. මෙවන් නීති විරෝධී වෙළෙඳාම් සඳහාම සැකසුණු “කළු වෙළෙඳපොළක්ද” ලෝකය පුරා නිර්මාණය වෙමින් පවතී. හොර රහසේම ඒවා නිරන්තරයෙන්ම යාවත්කාලීන වේ.

බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාවේ මලුකු, බාලි, සුමාත්‍රා සහ ජාවා දූපත්වල, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව, තායිලන්තය හා වියට්නාමය ආදී රටවල වෙසෙන ඉංග්‍රීසි බසින් පේන්ටඩ් වූලී බැට් ( Painted Woolly Bat ) නමින් හඳුන්වන වවුලන් විශේෂයද, අනෙකුත් වවුලන් ඇතුළු ඇතැම් සත්ත්ව විශේෂ මෙන් අද වන විට බිත්ති සැරසිල්ලක් වීමේ ඛේදනීය ඉරණමට ගොදුරු වී ඇත. සංරක්ෂණය කළ උන්ගේ සිරුරු යොදා සැකසූ සැරසිලි අන්තර්ජාලය තුළ ඇමරිකානු ඩොලර් ගණන්වලින් අලෙවි කෙරේ.
“ලෝක සංරක්ෂණ සංගමය” (IUCN) අවසන් වරට 2020 වසරේදී ප්‍රකාශයට පත් කළ “ලෝක රතු දත්ත” ලේඛනයට අනුව ‘පේන්ටඩ් වූලී බැට්’ නම් වවුල් විශේෂය සැලකෙන්නේ වඳ වීමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් ලෙසය. වනාන්තර හා තෘණ භුමි ආශ්‍රිතව දිවි ගෙවන මේ වවුලන් ලංකාවේදී හැඳින්වෙනුයේ ‘විසිතුරු කෙසෙල් වවුලන්’ යන නමිනි. දිලිසෙන තැඹිලි පැහැ රෝම සහිත ශරීරයක් දරන මේ කුඩා වවුල් විශේෂයේ පියාපත් තැඹිලි හා කළු පැහැය මිශ්‍ර වී නිර්මාණය වී ඇත. උන්ගේ මේ මනස්කාන්ත ශරීර වර්ණ හා ස්වභාවය නිසාම වනජීවී වෙළෙඳාම තුළ උන්ගේ සිරුරුවලට ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බව පැවැසේ.
මේ සත්ත්ව විශේෂය විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ ‘Kerivoula picta’ ලෙසය. මේ සතුන් විශේෂය සැබවින්ම සිතුවමක් මෙන් සුන්දරය. පියාපත්වල ඇති කළු පැහැය පරයා දිස්වන දිලිසෙන තැඹිලි පැහැය හේතුවෙන්ම උන් වවුල් කුලයේ සිටින අනෙක් සෑම විශේෂයක්ම පාහේ අභිභවා සුන්දර බාහිර පෙනුමක් හිමි වවුලන් අතර පෙරමුණ ගනියි. ආසියානු රටවල වන වියන අතර සැඟ වී වෙසෙන මේ වවුලන් උන්ගේ සුන්දරත්වය නිසාම වනජීවී වෙළෙඳාමේ එක් පැතිකඩක් වූ විසිතුරු සැරසිලි ආදිය සැකසීම සඳහා දඩයම් කරයි.
අන්තර්ජාතිකව, අන්තර්ජාලයේ අලෙවි කිරීමට ඇති මේ සිහිවටන හා සැරසිලි සදාචාරාත්මක අයුරින් සැකසූ ඒවා බව විකිණුම්කරුවන් පැවැසුවද එය සනාථ කිරීමට ඔවුන් සතුව සාක්ෂි කිසිවක් නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ස්වාභාවිකව මියැදුණු විසිතුරු කෙසෙල් වවුලන් මෙවන් සිහිවටන හා සැරසිලි සඳහා යොදා ගන්නා බව විකිණුම්කරුවන් පැවසුවද, එය පිළිගැනීම අතිශය දුෂ්කරය. මේ සතුන් බොහෝමයක් උන්ගේ නිදහස් පරිසරයෙන් බලහත්කාරයෙන් අල්ලා මරා දැමූ සතුන්ය. මෙවන් සැරසිලි සකස් කිරීම සඳහා උන් මරා දැමීමට හෝ උන්ගේ ශරීර කොටස් ලබා ගැනීමට මේ සතුන් ගෘහාශ්‍රිතව ඇති දැඩි කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බව විද්වත් මතය වේ.
මේ වවුල් විශේෂය යැපෙනුයේ ස්වාභාවික පරිසරයේ සක්‍රියව සිටින කුඩා කෘමීන් ගොදුරු කර ගැනීමෙනි. එනිසාම එවන් ආහාර රටාවකට හිමිකම් කියන වවුලන් ගෘහාශ්‍රිතව රැකබලා ගැනීම අතිශය දුෂ්කරය. එනිසාම උන්ගේ පරම්පරාවක්, මිනිස් ඇසුරක බෝ කර ගැනීම කළ නොහැකි කාර්යයකි. එනිසාම මේ අයුරින් සමරු භාණ්ඩ හෝ සිහිවටන සේ අලෙවියට තබා ඇති කිසිවක් ඒ වෙනුවෙන්ම මිනිසා විසින් බෝ කළ සත්තු නොවෙති. ස්වාභාවික පරිසරයේ ජීවත් වූ සතුන් පවතින ඉල්ලුම නිසාම බලහත්කාරයෙන් මරණයට පත් කොට ඇත.
ලෝක සංරක්ෂණ සංගමයේ දත්තවලට අනුව පලිබෝධනාශක භාවිතය, විවිධ සංවර්ධන කටයුතු, මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම්, ජෛව පද්ධති හායනය, වනාන්තර විනාශය, දැව හෝ වෙනත් අවශ්‍යතා සඳහා ගස් කපා දැමීම් හා වනාන්තර ඉඩම් බලහත්කාරයෙන් මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම මේ වවුල් විශේෂයේ පැවැත්මට තර්ජනයක් ඇති කර තිබේ. මේ සියල්ල අභිභවා අද වන විට සිහිවටන හා සැරසිලි උදෙසා මේ මනස්කාන්ත වවුල් විශේෂයේ සතුන් දඩයම් කිරීම උන්ගේ පැවැත්ම තවදුරටත් තර්ජනයට ලක් කොට ඇත.
අන්තර්ජාල වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති විසිතුරු කෙසෙල් වවුලන්ගේ සංරක්ෂණය කළ සිරුරු යොදා සැකසූ සිහිවටන හෝ සැරසිලි හා අස්ථි සැකසුම් පිළිබඳ නවතම අධ්‍යයනයකදී හෙළිව ඇත්තේ ඇතැම් විකිණුම්කරුවෝ ඇමරිකානු ඩොලර් සියයකට-දෙසීයකට එහා මිල ගණන්වලට මේවා අලෙවි කරන බවය. ජර්මනියේ සහ වියට්නාමයේ සමරු භාණ්ඩ අලෙවිසල්වල මේවා අලෙවියට තබා ඇති බවද අනාවරණය වී ඇත. ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, ජපානය, නෙදර්ලන්තය, තායිවානය, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ආදී රටවල් කේන්ද්‍රකොට ගනිමින් මේවා අන්තර්ජාලයේ අලෙවි කෙරෙන බව නිරීක්ෂණය කොට තිබේ.
පසුගිය 2022 වසරේදී සිදු කළ අධ්‍යයනයකදී හෙළිව ඇත්තේ මෙසේ අලෙවියට තබා ඇති සංරක්ෂිත සත්ත්ව සැරසිලි හෝ සමරු අතර සියයට 20ක ප්‍රතිශතයක් ‘පේන්ටඩ් වූලී බැට්’ නම් විශේෂය සිටින බවය. අන්තර්ජාලයේ භාණ්ඩ අලෙවි කෙරෙන සුප්‍රසිද්ධ වෙබ් අඩවි තුනක් කේන්ද්‍ර කොට ගනිමින් මාස තුනක් තිස්සේ සිදු කළ සොයා බැලීමකදී මේ වවුල් විශේෂයේ සමරු භාණ්ඩ අලෙවියට තබා තිබූ අවස්ථා 215ක් අනාවරණය කර ගැනීමට එම අධ්‍යයන කණ්ඩායමට හැකිව ඇත. ඒ සියලු සමරු අලෙවි භාණ්ඩ අතරින් සියයට 62ක් එක්සත් ජනපදයේ වෙසෙන වෙළෙඳුන් විසින් අලෙවි කරන බවට හඳුනාගෙන තිබේ. ඇමරිකානු සංරක්ෂණවේදී කණ්ඩායම් දෙකක්, වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ ආරක්ෂා කිරීමේ පනත යටතේ මේ වවුලන් සැමරුම් හා සැරසිලි ලෙස අලෙවි කිරීම එරට තුළ තහනම් කරන ලෙසට ඉල්ලීම් කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යම් හෙයකින් එවැන්නක් සඳහා අවසර හිමි වුවහොත් එක්සත් ජනපදයේ ඒවා විකිණීම නීති විරෝධී වෙළෙඳාමක් වනු ඇති බවද ඔවුහු පවසති.

මේ වවුල් විශේෂය බිත්තියෙහි රඳවන පින්තූර රාමුවක්, මේස සැරසිල්ලක්, හිසෙහි රඳවන කොණ්ඩ කටුවක් හෝ පලඳනාවක්, හැලොවින් සැමරීම සඳහා සැරසිල්ලක්, නත්තල් සමයෙහි නත්තල් ගසේ රැඳවීමට සැරසිල්ලක් ආදී ලෙස අලෙවි කිරීමට තබා ඇතැයි පැවැසේ. මේවා අන්තර්ජාලයේ පමණක් නොව ඇතැම් රටවල වෙළෙඳසල්වල පවා විකිණීමට ඇතැයි සඳහන් වේ. මේ ඇතැම් සැමරුම් භාණ්ඩවල උන් ජීවත් වූ රට සහ ප්‍රදේශය සඳහන් කර ඇත්තේ මේ වවුල් විශේෂය පිළිබඳව යම් දළ අවබෝධයක් ලබා ගැනීම පිණිසය. අවාසනාවන්ත කාරණය වනුයේ මේ අයුරින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කෙරෙන මේ වවුල් සැමරුම් අතර ශ්‍රී ලංකාවේදී “විසිතුරු කෙසෙල් වවුලන් ” ලෙස හඳුන්වන සතුන්ද වීමය. එහි ඇමිණූ සටහන්වල සඳහන් පරිදි මේ සතුන් දඩයම් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. පවතින නීති පද්ධතියට අනුව ජීවී, අජීවී සතුන් හෝ කොටස් ආනයනය හෝ අපනයනය තහනම් පසුබිමක ශ්‍රී ලංකාවෙන් නීති විරෝධී අයුරින් දඩයම් කළ සතුන් සංරක්ෂණය කොට ඉන් සැකසූ සිහිවටන හා සැරසිලි ආදිය ජාත්‍යන්තරව අලෙවි කිරීම සැක මතු කරන කාරණයකි. මෙය මෙරටට පමණක් නොව මේ වවුල් විශේෂය ජීවත් වන අනෙක් රටවලටද අවදානමක් මතු කරන්නකි.

අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල මේ වවුල් විශේෂය දේශීය වශයෙන් ආරක්ෂිතය. එහෙත් ජාත්‍යන්තරයේ මේ සතුන් සජීවීව, අජීවීව හෝ ශරීර කොටස් වශයෙන් අලෙවිය නියාමනය කොට නැති බව පැවැසේ. උතුරු ඇමරිකානු රටවල හා යුරෝපීය සංගමයේ රටවල් අතර මේ සත්ත්ව විශේෂය මාර්ගගතව අලෙවි කිරීම නියාමනය කිරීම සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන බවට චෝදනා නැඟේ.
මේ වවුල් විශේෂය වියළි වනාන්තර හා තෘණ භූමිවල මෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශ ආසන්නයේත් වෙසෙති. පිහිටි පොළොවේ සිට මීටර් 1 – 1.5ත් අතර උසකින් යුතු වියළි කොළ අතු අතර ගස් කඳන් උන් සිය වාසස්ථාන ලෙස තෝරා ගනියි. කෙසෙල් කොළ හෝ එහි වියළි පත්‍ර ආශ්‍රිතව විවේකීව ගත කිරීමට උන් ප්‍රිය කරන බව හඳුනාගෙන ඇත. උන්ගේ මනස්කාන්ත පියාපත් සෙන්ටිමීටර් 18ත් 30ත් අතර දිගකින් වැඩේ. උන් ග්‍රෑම් 5ක පමණ බරකින් යුතුය. කුඩා මකුළුවන්ගෙන් සහ කෘමීන්ගෙන් පෝෂණය වන මේ විසිතුරු කෙසෙල් වවුලන් අනෙකුත් වවුල් විශේෂවලට වඩා සුවිශේෂී පියාසැරි රටාවක් පෙන්නුම් කරයි. මේ වවුල් විශේෂය ඉතා වේගයෙන් පියඹා යති. ගොදුරු දඩයම් කිරීමේදී පොළොවට සමපාතව ගමන් ගැනීම සඳහා උන් ඝන තුරුවියන් අතරින් පවා පියඹා යයි. උන් තනි තනිව වුවද දැකිය හැකිය. එහෙත් බොහෝ විට මවුපිය දෙදෙනා සමඟ කුඩා පැටවා සහිත රංචුවක් ලෙසද උන් කල් ගත කරන බව පෙනේ.
මේ වවුල් විශේෂය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පර්යේෂකයන් පවසන්නේ මේ සතුන් වනජීවී වෙළෙඳාමේ ගොදුරක් බවට පත්වීම එහි ගහන වර්ධනය කෙරෙහි දැඩිව බලපෑම් කරන බවය. ඒ උන්ගේ ගහනය ඉතා සෙමින් වර්ධනය වන නිසාය. මේ කුලයේ අනෙකුත් වවුල් විශේෂ මෙන් නොව මේ කුඩා වවුලන් ජීවත්වනුයේ තනි තනි සතුන් ලෙස වෙන්වය. ඇතැම් විට යුගල ලෙස හෝ මව පියා හා අලුත උපන් පැටවාගෙන් සැදුම්ලත් පවුලක් ලෙසද දැකිය හැකිය. එනිසාම මේ සතුන් දෙතුන් සියය වශයෙන් ඒකරාශී වූ විශාල ගස්වල හෝ ගුහාවල ඇති කොලනි ලෙස දැකිය නොහැකිය. උන් පැටවුන් බිහි කරන්නේ වාර්ෂිකවය. මෙහි ඇති විශේෂත්වයක් වනුයේ ගැහැනු සතුන් වරකට බිහි කරනුයේ එකම එක පැටවෙක් පමණි. එනිසාම මේ සතුන්ගේ ගහනය වර්ධනය වීමට බොහෝ කාලයක් ගත වේ. එසේ තිබියදීත් මේ සතුන් වනජීවී ජාවාරමේ ගොදුරක් බවට පත්වීම උන්ගේ ගහන වර්ධනයට දැඩි තර්ජනයක් ඇති කෙරේ.