Back to Blog

මාර්ග වලට මුවා වී කැලැ ඉඩම් අල්ලන නූල් සූත්තර කාරයෝ

Editor
මාර්ග වලට මුවා වී කැලැ ඉඩම් අල්ලන නූල් සූත්තර කාරයෝ

උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ශේශාධි

'සිංහරාජේ මැදින් පාරක් කපනව....' මේ කතාව ගැන පරිසරවේදීන්ගේ ඉඟි හා තොරතුරු එළි දැක්වීම් හමුවේ පසුගිය දින කිහිපය පුරාවටම ඒ ගැන බොහෝ දේ සමාජ ගත වූයේ මේ ආණ්ඩුවට එල්ල වූ විරෝධයත් සමඟිනි. මින් පෙරත් මෙවන් පරිසර හානි සමාජගත වන විටම බලධාරීන්, ඇමතිවරු හා ආණ්ඩු කරන්නට උපදෙස් දෙන්නවුන් ඒවා බැහැර කළේ පරිසරවේදීන් සමාජය කුපිත කරන්නට ගෙතු කතා සමාජ ගත කරන බවට චෝදනා කරමිනි.

එහෙත් සිංහරාජයේ පාර ගැන එවැන්නක් සිදු වූයේ නැත. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් මේ ගැන පරිසර ඇමතිවරයාගෙන් විමසුවේ තනි වචනයෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනි.

Roar සිංහල - සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක්

ඇමතිවරයාගේ පිළිතුර වූයේ " සිංහරාජය විනාශ කරන්න දෙන්නේ නැහැ..." යනුවෙනි. ඒ පිළිතුරෙහි තවත් බොහෝ කරුණු ගැබ් විය.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න, කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට නීති විරෝධී සැලැසුමක් සකස් ඇති බවට පරිසරවේදී සජීව චාමිකර ඉකුත් සතියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා නැගීය. මේ ගැන පරිසර ඇමතිවරයාගෙන් මාධ්‍ය හමුවකදී විමසූ විට ඔහු ඒ බව වක්‍රව පිළිගත් බවක් පෙනුනේ මෙවන් මාර්ගයක් ඉදි කිරීම ගැන සොයා බලන්නට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එහි ගිය බවද පැවසූ නිසාය.

එහෙත් ඔහු කට වචනයෙන් පොරොන්දු වූයේ ලෝක උරුම රක්ෂිතයක් වූ සිංහරාජය විනාශ කරන්න තමන් ඉඩ නොදෙන නිසා මේ මාර්ගය ඉදි කිරීමට අවසර නොදෙන බවද පවසමිනි.

මින් පෙරද සිංහරාජය මැද්දෙන් ලංකාගමට යන්නට පාරක් තැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනපති සමයේ දැරූ උත්සාහය වැළකී ගියේ ඒ සඳහා එල්ල වූ දැඩි විරෝධය හා නීතියේ මැදිහත් වීම හේතුවෙනි. පසුගිය දිනවල ඉදි කරන්නට දත කෑ ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්වා වූ මාර්ගය ද මින් වසර ගණනකට පෙර ඉදි කිරීමට පිඹුරුපත් සැකසුණු මාර්ගයක් මිස අලුතින් වූ යෝජනාවක් නොවේ.

පසුගිය 2019 වසරේ දී සිංහරාජ වන රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට යටතේ පාලනය වූ ඉළුඹකන්ඳ හා සූරියකන්ඳ ප්‍රදේශයේ පිහිටි විශාල වනාන්තර ප්‍රදේශයක් අත්පත් කර ගැනීමේ අරමුණින් 2011 වසරේ දී හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ එක් ව මහා මාර්ග අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කිරීමට සූදානම් වූ බවට සජීව චාමිකර මාධ්‍ය හමුවේ චෝදනා කළේය. එකල මේ පිරිස ඉළුඹකන්ඳ ප්‍රදේශවාසීන්ට පොරොන්දු වී තිබුණේ මේ මාර්ගය ඉදි කිරීමෙන් අනතුරුව ඒ අවට වනාන්තර ඉඩම් හෙක්ටයාරය බැගින් ජනතාව අතර බෙදා දීමටය. මෙවර මේ මාර්ගය ඉදි කිරීමට ඉදිරිපත් වූ යෝජනාවත් සමඟ ඉළුඹකන්ද ප්‍රදේශවාසීන්ට පොරොන්දු වී ඇත්තේ යටි බිම් ගත වගාවක් ලෙස වැනිලා වගා කරන්නට මේ වනාන්තර කලාපයේ අවසර ලබා දෙන බවටය. උප කඳුකර වනාන්තරයේ යටි ස්ථරයේ එනසාල් වගා කිරීමට ඉඩම් බෙදා දීම සිදු කරන බව ය

පොරොන්දු වෙනස් වූවාට සැලසුම එකමය. ආණ්ඩුව අලුත් නිසා, මැති ඇමතිවරු අලුත් නිසා පරණ සෙල්ලම අලුත් මුහුණුවරකට ගෙන ක්‍රීඩා කිරීමට පිටිය සකසා ගැනීමක් වැනිය. යකා යකාමය. හැඩය පාට වෙනස් වූවාට ගති ගුණ හෝ හානිය වෙනස් වනුයේ නැති බව පරිසරවේදීහු එක හෙළාම පවසති.

Roar සිංහල - සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක්

සිංහරාජ වනාන්තරයට අත තැබීමට යෝජනා වීමට පෙර තවත් රක්ෂිත හා යුනෙස්කෝ ලෝක උරුම වනයකට බලපෑම් ඇතිවන අයුරේ තීන්දු තීරණ කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට සාකච්ජා වී තිබිණි. යුනෙස්කෝ ලෝක උරුම වනාන්තරයක් වන නකල්ස් සංරක්ශිත වනාන්තරයේ තංගප්පුව සිට අට්ටලමේට්ටුව (කොබර්ට්ස් ගැප් ) දක්වා ඇති වනගත මාර්ගය සංවර්ධනය කිරීමට පුවරුවක් පවා එහි සවි කොට තිබී ඇත්තේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිසි අවසරයක්වත් නොගෙනය.

බෙලිහුල්ඔය කලාපයේ සංචාරක කටයුතු ප්‍රවර්ධන කිරීමට යැයි පවසමින් නන්පේරියල් ග්‍රාමයේ සිට එනම් නැග්රැක් බංගලාව කෙලවර සිට හෝටන්තැන්නට සම්බන්ධ වනගත මාර්ගය විවෘත කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා විය. එම මාර්ගය වැටී ඇත්තේ රත්තනගොල්ල යෝජිත රක්ෂිත වනාන්තර හා සමනල රක්ෂිත අතරිනි. නන්පේරියල් ග්‍රාමය අයිති වනුයේ ගල්පොත්තැන්න ග්‍රාම නිලධාරී වසමටය. එහි උසම කොටස නැග්රුක්ය.

මේ සංචාරක කටයුතුවලට යැයි පවසමින් විවෘත කිරීමට සූදානම් වූයේ නැග්රැක් බංගලාව අවසන් වන කොටසේ සිට ලෝකාන්තය දක්වා වලාකුල් වනාන්තර අතරින් දිවෙන, හෝර්න්තැන්න හා ශ්‍රී පාද රක්ශිතය යා කරන වනාන්තර කොටස මෙන්ම හෝර්න්තැන්නට ඇති අති සංවේදීම පරිසර කලාපයයි. මේ මඟ අවස්ථා කිහිපයකදිම විවෘත කිරීමට උත්සාහ දැරූ නමුදු එය අසාර්ථක විය. එහි ආසන්නතම අවස්ථාව ලෙස 2020 වසරේදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව සහ එහි සභාපති ගත් උත්සහය දැක්වේ. වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව ඒ සඳහා දැක්වූ දැඩි විරෝධය හමුවේ එය ව්‍යර්ථ වී තිබිණි.

සංචාරක කර්මාන්තය හෝ වෙනත් අවශ්‍යතා උදෙසා වන රක්ෂිත හෝ වනාන්තර කොරිඩෝ අතරින් මෙවන් වනගත මාර්ග ඉදි කිරීම සඳහා ඉදිරියේදීත් යෝජනා පැමිණිය හැකිය. පාරක් වෙනුවෙන් කැලයක කොටසක් කපා දැමීම එතරම් සැලකිය යුත්තක් නොවන බවට පුහුදුන් තර්ක ගෙන ආවද එය එසේ නොවේ. පාරක් හෝ වෙනත් කිසියම් සංවර්ධන කටයුත්තක් උදෙසා මේ විනාශ කරනුයේ ජෛව පද්ධතියක් මිස මුඩු බිමක් නොවන බව සංරක්ෂණවේදී ක්‍රිෂාන් වේවැල්වල පවසයි. පසුගිය කාලය පුරාවට විවිධ හේතු මත සංවර්ධනය කිරීමට යැයි යෝජනා වූ හෝ හොර රහසේ සැලසුම් කළ වනගත මාර්ග සියල්ලක්ම පාහේ පිහිටියේ ජෛව විවිධත්වයෙන් උණුසුම් කලාපය ලෙස හඳුනා ගැනුණු පෙදෙස්වලය. මේවට අත තැබීම යනු ජාත්‍යන්තරයේ පවා අපකීර්තියට ලක්විය හැකි නින්දා සහගත ක්‍රියාවන්ය.

අනෙක් අතට කාලයකින් කුඩා කෑල්ලක් වුවද අධික වටිනාකම් සහිත කලාපයක් විය හැකිය. බැලු බැල්මට ඒ බව නොපෙනුණද, එසේත් නොමැති නම් ඒ ගැන වෙනත් චිත්‍රයක් මවා පාන්නට උත්සාහ කළද සැබෑව වනුයේ ස්වභාවික, පාරිසරික හා පුරා විද්‍යාත්මක වශයෙන් මේවා අතිශයින්ම වැදගත් ය. රක්ෂිතයක මායිමකට වුවද බලපෑම් එල්ල වීම යනු එහි ශාක පද්ධතියේ හෝ මෙරටට ආවේණික ජීවි විශේෂවල විනාශයේ මුලාරම්භය විය හැකිය.

සිංහරාජ වනාන්තරය

මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ඕනෑම පරිසර පද්ධතියක් දෙකඩ වීමේදී එහි බලපෑම කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනව පැවතිය හැකිය. ඛණ්ඩනය වූ වනාන්තර කොටසක් හරහා ඒ පද්ධතියට ඇති කෙරෙන බලපෑම ගිණිය නොහැකි තරම් දරුණු වනු ඇත. පොසිල ඉන්ධන දහනය මගින් නිකුත්වන හරිතාගාර වායු, උෂ්ණත්ව, ආර්ද්‍රතාවය හා සුළං රටා වෙනස් වීම්, ආගන්තුක ආක්‍රමණශිලි සත්ව සහ ශාක විශේෂවල ව්‍යාප්තිය, අපජල හා අපද්‍රව්‍ය බැහැර කිරීම්, වන සතුන්ට ආහාර ලබා දීම්, ජංගම දුරකතන සංඥා, අධික ශබ්දය, දෙදරීම් හා විදුලි ආලෝකය හේතුවෙන් වන බලපෑම් ආදිය වනාන්තර ඉඩම් ඛණ්ඩනය වීමෙන් ඇති වන බව ක්‍රිෂාන් වේවැල්වල පෙන්වා දුන්නේය.

මේවා පිලිබඳ සාමාන්‍ය ජනතාවට දැනීමක් නැතැයි පැවසුවද ඉන් පසුකාලීනව සිදුවන බලපෑම ඔවුහු අත් විඳිති. මින් පෙර රක්ෂිත වනාන්තර කොටස් ඛණ්ඩනය වීමෙන් ඇති වූ බලපෑම අද අත්වින්දද එය පිළිගැනීමට හෝ එහි වරද බාර ගැනීමට කිසිවෙක් හෝ උත්සුක නොවෙති.

සුකුරුත්තම් රසකාරක තවරා මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අතට දෙනුයේ පරණ වූ ගඳ ගසන මැටි ගුලියම බව පෙනේ. එය අනාගෙන දුගඳ පතුරනවා වෙනුවට ඒ ගැන ක්‍රියාත්මක වීමට පෙර අතීතය හාරා අවුස්සා යළි යළිත් විමසන්නේ නම් යහපත් බව පරිසරවේදීහු පවසති. රටේ සුබ සිද්ධිය හෝ සංවර්ධනය උදෙසා සෑම විටෙකම පරිසරවේදීන් අකුල් හෙළන බවට චෝදනා නැගෙන්නේ අදක ඊයෙක සිට නොවේ. ඇතැම් විට පරිසරවේදීන්ගෙන් ගෙන එවන් විරෝධයක් එල්ල නොවුයේ නම් මේ රට කාන්තාරයක් හෝ මුඩු බිමක් වීමට ඉඩ පැවතිණි.

සියදහස් ගණනක් කුරුළු සමුහයා සැතපුම් දහස් ගණනක් ගෙවා ගිමන් හැරීමට, වර්ගයා බෝ කිරීමට හෝ ගොදුරු බිම් සොයා එන මන්නාරම් බිම මුඩු බිමක් බවට හංවඩු ගසන, වගා බිමට එන ඕනෑම වන සතෙක්ට රිසි දෙයක් කිරීමට පවසන, ඉඩම් කොල්ලකරුවන් මවන සරුව පිත්තල ලෝකයක අතරමං වුණු, වැව් රක්ෂිත, වන ඉඩම් ආදිය ඥාතී මිත්‍රාදීන් අතර බෙදා දීමට දත කන මැති ඇමතිවරු අතරේ පරිසර සංරක්ෂණය යනු හුදෙක් පයට පෑගුණු දුහුවිල්ලක් නොවේවා යන්න බොහෝ දෙනෙකුගේ ප්‍රාර්ථනය බවට අද වන විට පත්ව ඇත.