උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ෂේශාදි මෙනෙවිය
ඉතා සූක්ෂ්ම අයුරින් හම ඉවත් කළ මෙරටට ආවේණික කොටියකුගේ සිරුරක් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ තිබී වනජීවී නිලධාරීන් සොයා ගත්තේ ඉකුත් 04 වැනිදාය. මාදුරුඔය, කහපාලම අසලදී හේනානිගල පිවිසුම් දොරටුවේ අඩවි ආරක්ෂක නිලධාරීහු මේ හම ගැසූ කොටියා සොයා ගන්නා විටත් සිද්ධියට සම්බන්ධ අය පලාගොස් තිබිණි. කොටියා මරා උගේ හම, නියපොතුද සමඟ ගලවාගෙන ගොස් තිබිණි. ලේ බිඳුවකුදු එළියට නොඑන ලෙස ඉතා සියුම්ව කොටි හම ගලවාගෙන ගොස් තිබූ නිසාම මේ අපරාධය පසුපස පළපුරුදු දඩයක්කාරයකු සිටින බවට පරිසරවේදීහු අනුමාන කළහ. සිද්ධිය වී දිනක් ගතවීමටත් මත්තෙන් මේ සත්ත්වයා මරා හමගැසූ බවට සැකපිට හේනානිගල ගම්මානයේ පදිංචි හැට හැවිරිදි අයකු සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු හේනානිගල ගම්මානයේ ආදිවාසී පරපුරේ අයකු බව පැවැසිණි. දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයට එදිනම සවස ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබුණේ සැකකරු ලබන මස 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පලාගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පැවැසූහ. ඉන් එක් අයෙක් යුද හමුදාවෙන් ඉවත් වූ අයකු ලෙස හඳුනාගෙන ඇති අතර අනෙක් තැනැත්තා හේනානිගල ගම්මානයේම ආදිවාසී පරපුරේ අයකු බව පැවැසේ. යුද හමුදාවට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි ගිරිතලේ යුද හමුදා පොලිසියට දැනුම්දී ඇති බව වනජීවීයේ ඉහළ නිලධාරියෙක් පැවසීය. අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් පොලිසියේ සහාය ඉල්ලා ඇතැයිද පැවැසේ.
මින් පෙරද මාදුරු ඔය වනෝද්‍යානයේ සැරිසැරූ කොටියකු ගුරුකුඹුරේ ආදිවාසීන් පිරිසක් එක්ව ඝාතනය කළ බවට තොරතුරු වාර්තා වූ බව වනජීවී නිලධාරීහු පැවසූහ. මේ ප්‍රදේශයේ සැලකිය යුතු තරම් කොටි ගහනයක් සිටින බව පැවසේ. මේවා උන්ගේ නිජබිම්, ගොදුරු බිම් වුවද උන්ට ආරක්ෂාවක් ඇත්තේ නැත. උන්ට ආරක්ෂාව දෙන්නට ප්‍රමාණවත් තරම් වනජීවී නිලධාරීන්ද ඇත්තේ නැත.
චේතනාන්විතව කොටි ඝාතනය කරන බවට මින් පෙර තොරතුරු කිසිවක් වාර්තා නොවුණද අද වන විට ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස්ව ඇති බව පැවසේ. වල් ඌරන්, මුවන්, ගෝනුන් ආදී වගාවලට හානි කරන සතුන් ඉලක්ක කොට අටවා ඇති මදුවලට හෝ හක්ක පටස්වලට කොටි හසුවන බව පැවසුණද අද වන විට කොටි ඉලක්ක කොට ගත් දඩයම් ක්‍රමයක් ඇති බවට පැහැදිලිව පෙනෙන්නට ඇත. වනගතව වෙසෙන කොටින්ගේ දත්, සම, නිය, අස්ථි හා මස් ලබාගන්නා ජාවාරම් ඇති බවට තොරතුරු ඇතැයි ලෙපකොන් සංවිධානයේ සංරක්ෂකවේදී සෙතිල් මුහන්දිරම් “ඉරිදා මව්බිම”ට පැවැසීය.
මේවා අද ඊයේ ආරම්භ වූවක් නොව බොහෝ කලෙක පටන් රහසේ සිදුවූ ඒවාය. ඉකුත් 2020 වසරේදී ගුරුකම් කරන බව කියන යකැදුරෙක් සතුව තිබී කොටි තෙල්, කොටි සමක කොටස්, කොටි දත් හා කොටි නියපොතු සීදුවේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
කඳුකරයේ මස්කෙළිය – නල්ලතන්නිය ආසන්නයේ තේ වත්තක වියළීමට තබා තිබූ කොටි හමක් වනජීවී නිලධාරීන් පසුගිය 2023 වසරේදී පමණ අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් පවසා තිබුණේ එය විකුණන්නට සකස් කළ එකක් බවය. කොටි සිරුර පිලිස්සු බවද ඔවුන් වනජීවී නිලධාරීන් හමුවේ පවසා ඇත.
කොටි මස් හෝ අස්ථි යොදාගෙන සැකසූ ඖෂධවලින් ලෙඩ සුව වූ බව හෝ ලිංගික ශක්තිය ඉහළ යන බව හෝ එය සනාථ වී නොමැත. මේ පසුපස ඇත්තේ මිථ්‍යා කතාය. අඩු තරමේ පාරම්පරික සිංහල වෙදකමේ යෙදෙන වෛද්‍යවරුවත් මේ මිථ්‍යාවන් පිළිනොගනී. ඔවුහු පවසනුයේ සතකුගේ ශරීර කොටස් යොදාගෙන ප්‍රතිකාර කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවය.
ඉන්දියාව, චීනය ආදී ආසියාතික රටවල පවා කොටි ජීවත් වෙති. එහි ඇතැම් රටවල ගුප්ත විශ්වාසවලට අනුව කොටියකුගේ දකුණු අතේ නිය සහිත කොටස් පවා ගුප්ත විද්‍යා කටයුතුවලට යොදා ගනී. වැඩුණු සතුන්ගේ නියපොතු, උල් දත් පවා මේ මිථ්‍යා විශ්වාස නිසාම ළඟ තබා ගැනීමට ඇතැමුන් පෙලඹේ.
කඳුකරයේදී වෙඩි තබා ඝාතනය කළ කොටියකු සමඟ සැකකරුවන් තිදෙනකු වරක් වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔවුන් පවසා තිබුණේ එම කොටියා මරා දැමුවේ මස් ලබා ගැනීම සඳහා බවය. ඇදුම රෝගය සඳහා කොටි මස් වඩාත් ප්‍රත්‍යක්ෂ ආහාරයක් යැයි පැවසූ නිසා මේ අයුරින් කොටියා මරා දැමූ බව ඔවුන් පවසා ඇත.
කඳුකරයේදී හෝ වෙනත් ප්‍රදේශවලදී හෝ මරා දමන කොටි කොළඹ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවලට මස් පිණිස අලෙවි කෙරෙන ජාවාරමක් පවතින බව අනාවරණය වී ඇතැයි සංරක්ෂණවේදී සෙතිල් මුහන්දිරම් පැවැසීය. මෙය ඇතැම් රටවල විදේශිකයන් ඉලක්ක කොටගත් ජාවාරමක් බවද ඔහු සඳහන් කළේය.
අනෙක් අතට බුදුරජාණන් වහන්සේ ආහාරයට ගැනීම තහනම් කළ මස් වර්ග අතර කොටි මස්ද වේ. එහි කොටි මස් යන්න දැක්වෙනුයේ “දීපී මාංශ” යන්නය. විනය පිටකයේ මහාවග්ග පාලියේ භික්ෂුන් වහන්සේ උදෙසා මනුස්ස මාංශ (මිනී මස්), හත්ථි මාංශ (ඇත් මස්), අස්ස මාංශ (අශ්ව මස්), සිංහ මාංශ (සිංහ මස්), ව්‍යාඝ්‍ර මාංශ (ව්‍යාඝ්‍ර මස්), දීපි මාංශ (කොටි මස්), සුනඛ මාංශ (බලු මස්), අහි මාංශ (සර්ප මස්), අච්ඡ මාංශ (වලස් මස්) හා තරච්ඡ මාංශ (වෘක මස්) ආදිය දානයකදීවත් භික්ෂුන් වහන්සේට පිළිනොගැන්විය යුතු බව දැක්වේ.
කොටි මස් ආහාරයට ගැනීම අසාත්මිකතා ඇති කිරීමට මුල් විය හැකි හේතුවක් බව පැවසේ. උගේ ආහාර රටාව සැකසී ඇත්තෙම මාංස භක්ෂක විලාසයෙනි. වනයෙහි වෙසෙන විශාලතම විලෝපිකයා සේම ස්වාභාවික ආහාර දාමවල මුල්ම පුරුක කොටියා වන අතර ඌ ආහාරයට ගන්නේ මස් මාංස පමණි. ප්‍රෝටීන අධික ප්‍රමාණයක් ආහාරයට ගන්නා නිසාම උගේ ශරීරයේ බැර ලෝහ බොහෝ ප්‍රමාණයක් අඩංගු විය හැකිය. එම නිසා කොටි මස් ආහාරයට ගැනීම හේතුවෙන් මිනිසකුට අසාත්මිකතාවක් ඇති විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙන බව සෙතිල් මුහන්දිරම් පැවැසීය.
මින් වසර සිය දහස් ගණනකට එහා කොටි හම් තිබී ඇත්තේ ඉහළ පෙළැන්තියේ නිවෙස්වලය. එය ඔවුන්ගේ වංසය, පෙළැන්තිය හෝ බලපුළුවන්කාරකම විදහාදක්වන සංකේතයක් බවට පත්ව තිබිණි. කොටි හම, කොටි දත් ආදිය ප්‍රදර්ශනාත්මක භාණ්ඩ සේ රැස් කිරීමට රුචියක් දක්වන ව්‍යාපාරික පෙළැන්තියක් වර්තමානයේද බිහි වී ඇති නිසා කොටින්ට ඇති තර්ජනය වඩාත් ඉහළ ගොස් ඇත. ඔවුන්ගේ මනදොළ පිරවීම උදෙසාද රහසේම කොටි ඝාතනය කෙරෙයි.
කොටි දතක් බෙල්ලේ එල්ලා ගත් සැණින් කොටියකුගේ ශක්තිමත් බව ලැබෙන බවට විශ්වාසයක් පවතී. කොටියා යනු වනයෙහි සිටින ආකර්ෂණීය සතෙකි. ඌ පුරාවෘත්තයක් බඳුය. එනිසාම උගේ ඒ ලක්ෂණ කොටි දතක පවා ගැබ්ව ඇති බව ඇතැමුන් විශ්වාස කරන බව පෙනේ.
ඌරන්ට, ගෝනුන්ට ගහන මදුවල කොටි අහම්බෙන් පැටලෙන බව කීවද අද වන විට මදුගසා හෝ හක්කපටස් දමා හෝ වෙඩි තබා හෝ විදුලිසර වද්දවා හෝ වෙනත් ක්‍රමයකින් කොටි සෘජුව ඝාතනය කරන තැනට පත්ව ඇත. එයට හේතුව වී ඇත්තේ මේ කොටි ශරීරයේ සෑම කොටසකටම නොහිතනා අයුරින් මිලක් නියම වීමය. එනිසාම රට තුළ කොටි අවයව ජාවාරමද රහසේ කෙරෙන බව පැහැදිලිය. පසුගියදා මාදුරු ඔයේදී මරා දමා හම ගැසූ කොටියාද ඒ ජාවාරමේම කොටසකි. කොටි සිරුර හමුවූයේ හමගැසීමෙන් අනතුරුවය. කොටි හම හොයාගත් බවක් වාර්තා වූයේ නැත. මෙය, කොහේ හෝ සිටිනා මිථ්‍යා විශ්වාසයෙන් ඔළුව පුරවා ගත් හෝ තම පෙළැන්තිය පෙන්වීමේ නොතිත් ආශාවෙන් පෙළෙන බලපුළුවන්කාරයකුගේ මනදොළ පිනවීම උදෙසා ඝාතනය කළ එකක්ද යන්න සැක සහිතය.
මින් පෙරද මාදුරු ඔයේදී කොටියකුගේ හම, මාංස සේම කැබැල්ලෑවකුගේ සම්පූර්ණ සිරුරද හමු වී ඇත. ඒ සිදුවීම හා සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේද ආදිවාසියෙකි. ඉකුත් 2022 වසරේදී උඩුදුම්බරින් මෙවන් සිදුවීමක් වාර්තා වී ඇත. මද්දකට හසු වූ සතකු මරා දමා උගේ මස්, ඔළුව සහ අත් – පා ත්‍රිරෝද රථයක දමාගෙන විකිණීම සඳහා රැගෙන යද්දී කාන්තාවක ඇතුළු තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව සඳහන් වේ.
මෙය රටේ එක් පරිසර කලාපයකට පමණක් සීමා වූවක් නොවේ. වියළි කලාපයේ සේම මධ්‍යම කඳුකරයේද මේ සතුන් ඝාතනය කරන්නේ මාංස සඳහාය. එක්කෝ හම, නිය හෝ දත් ලබාගැනීම සඳහාය. ඇතැම් විට ලැබෙන ඇණවුම් අනුවද සතුන් ඝාතනය කරන බවට තොරතුරු ඇතැයි සෙතිල් මුහන්දිරම් පැවැසීය. ඇතැම් විට මෙවන් ඝාතන සඳහා කාලයක් තිස්සේ සතුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කරන පිරිස්ද වන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට වනජීවී ජාවාරම රට පුරාම විවිධ අයුරින් ව්‍යාප්තව පවතින බවට සාධක ඇත. වනජීවීන්ගේ ශරීර කොටස් විකිණීමේ ජාවාරම තුළ ප්‍රධාන ලෙසම කාරණා තුනක් දක්නට ලැබේ. ඉන් එකක් වන්නේ ආනයනික ද්‍රව්‍ය අලෙවි කිරීමය. දෙවැන්න වනුයේ ලංකාවේ වනෝද්‍යානවල සිටින සතුන් මරා හෝ හිංසා කොට හෝ ඉවත් කරගත් කොටස් අලෙවි කිරීමය. ව්‍යාජ ද්‍රව්‍ය අලෙවි කිරීමද මේ අතර වන බව ආචාර්ය ජගත් ගුණවර්ධන “ඉරිදා මව්බිම”ට පැවැසීය.
කොටි හම, කොටි දත්, කොටි නියපොතු ආදිය වෙනත් රටවලින් නීති විරෝධීව ආනයනය කරන ඒවා සේම මෙරට වනාන්තරවලදී රහසේ මරා දමන සතුන්ගේ ශරීර කොටස් මෙන්ම ඒවාට බොහෝ සමාන අයුරින් ව්‍යාජව සකස් කළ ඒවාද රහසේම අලෙවි කෙරේ. ඇතැම් විටෙක මී හරක් අඟකින් කැපූ ව්‍යාජ කොටි නියපොතුද අලෙවි කිරීමට ඇතැයි තොරතුරු වාර්තා වූ බව ආචාර්ය ජගත් ගුණවර්ධන පැවැසීය. ලංකාවේ වනාන්තරවල නිදහසේ ජීවත් වන සතුන්ගේ කොටස් විකිණීම වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය සහ 24 වැනි වගන්තිය ප්‍රකාරව වරදකි.
මේ ඇතැම් දේ 1994 වසරේ සිට ඉන්දියාවෙන් ආනයනය කරන ඒවා බව සඳහන්ය. ඇතැම් අවස්ථාවලදී මේවා රේගු අත්අඩංගුවටද පත්ව ඇති බව හෙළි වේ. ලංකාවට තහනම් ද්‍රව්‍යයක් ආනයනය කිරීම යනු වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 37 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමකි. එවන් ද්‍රව්‍ය සඟවාගෙන, ව්‍යාජ නමකින් ඒවා නිර්මාණය කිරීම වරදක් වනවා සේම ඒවා මෙරටට ගෙන එන්නේ නම් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 37 වැනි වගන්තිය, රේගු ආඥා පනතේ කොටසක් සේ සලකා කටයුතු කිරීමට රේගුවට බලය පැවරෙන බව ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේය.
අන්තර්ජාලයේ මේවා අලෙවි කෙරෙන අවස්ථාවලදී බොහෝ විට ව්‍යාජ ඒවාද අලෙවි කරන බව පැවැසේ. ගැටලුව ඇත්තේ එතැනය. මී හරක් අං කොටස්, වෝල්රස් දළ, නාවල් මසුන්ගේ දළ, ප්ලාස්ටික් ද්‍රව්‍ය මේ අයුරින් අලෙවි කරන බවට හඳුනාගෙන ඇත. මෙවන් සිදුවීම් අවස්ථා කිහිපයකදීම නීතියේ රැහැනටද හසුව තිබේ. අන්තර්ජාලයේ මේවා විකිණීමට ඇති ඡායාරූපයකින් මේවා සැබෑ ඒවාද නැතහොත් ව්‍යාජ ඒවාද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. මේවා නීති විරෝධී බව ඒවා මිලදී ගන්නා ගැනුම්කරුවෝද දනිති. අලෙවි කරන්නෝද දනිති. එනිසාම ඒවා විද්‍යාත්මක පරික්ෂාවකට හෝ තක්සේරුවකට යොමු කිරීම සඳහා කිසිදු අවස්ථාවක් නැත. එනිසාම ව්‍යාජ ද්‍රව්‍ය අලෙවි කරන්නෝ මේ හිඩැස සිය වාසියට භාවිත කරති. එනිසාම බොහෝ ගැනුම්කරුවෝ මේ උපක්‍රමයට හසු වෙති. මේ අයුරින් ව්‍යාජ ද්‍රව්‍ය අලෙවි කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේ නීතියේ රැහැනට හසුව ඇති අතර අලෙවි කළ ඒවා ව්‍යාජ ඒවා බවට සනාථ වී ඇත.
විද්‍යාත්මකව Panthera pardus kotiya යන නමින් හැඳින්වන ශ්‍රී ලංකාවේ කොටියා බිළාල කුලයට අයත් මෙරට වෙසෙන විශාලතම විලෝපිකයාය. උන්ගේ ගහනයේ ඝනත්වය පිළිබඳව නිසි අධ්‍යයනයක් කර නැතත් අද වන විට උන් වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් බවට ජාතික රතු දත්ත පොත හෙළි කරයි. ශ්‍රී ලංකා කොටියා, 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්‌ෂක (සංශෝධන) ආඥා පනත යටතේ දැඩි ආරක්‌ෂිත සත්ත්වයකු ලෙස නම් කර ඇතත් අද වන විට වනජීවී ජාවාරම හේතුවෙන් උන් උන්ගේ නිජබිම් හෝ ගොදුරු බිම් තුළම අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ.